”දෙවේලක් කන්නට හුරු වෙන්නැයි” ඉල්ලීම් කරන්නේ ජනතාවගේ ධනය කප්පරක් ගිලපු හාදයෝ බව කෝප් කමිටු සාමාජික ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පැවසීය. 

දෙවේල කනවා තියා ජනතාව අද ‘උලා කන’ තත්ත්වයට පත්ව ඇති බවත් ඔවුන් රුපියල් 100ක් වියදම් කළහොත් ඉන් 40%ක් වක්‍ර බදුවලට වෙන් කරන බවත් හඳුන්නෙත්ති පෙන්වා දුන්නේය. 

වත්මන් ආණ්ඩුව බලයට ආ මොහොතේ ම වැට් බද්ද මිලියන 12 සිට මිලියන 3000 දක්වා ඉහළ දමා රුපියල් කෝටි 50,000කට ආසන්න බදු ඉවත් කරගත් බවත් එමගින් ගජමිතුරු හවුල සතුටු කළ බවත් ඔහු කීය. 

ආදායම අහිමි වී එක් වේලක් හෝ සරි කරගත නොහැකි ජන කොට්ඨාසයක් සිටින රටක ඇමැතිවරුන් ඔවුන් කන ආකාරයට ජනතාවත් කනවා යැයි සිතා සිටීම විහිළුවක් බව ද ඒ මහතා සඳහන් කළේය.

එක රුපියලක්වත් නාස්ති නොකර සිටින ඇමැතිවරයෙකු සිටිනවාදැයි ප්‍රශ්න කළ හෙතෙම කීවේ, “බෙල්ල මුලට සිරවී සිටින ජනතාවට දෙවේලක් කන්න යැයි පැවැසීමට තරම් දූෂිත ඇමතිවරුන්ට සදාචාරාත්මක අයිතියක් තිබේ ද යන්න ප්‍රශ්නයක්,” බවය.