මුලතිව්, වට්ටුවගල් නාවික හමුදා කඳවුර අවට භූමියේ ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව අද (29) ප්‍රදේශවාසීන් විසින් විරෝධතාවක් පැවැත්වීය.

මීට පෙර තමන්ගෙන් පවරාගෙන ඇති ඉඩම් ලබාදීමත්, අලුතින් තම ඉඩම් පවරා ගැනීමේ උත්සාහයට විරෝධය පළකිරීමත් මේ විරෝධතාවේ අරමුණ විය.

අදාළ ඉඩම් අලුතින් මැනීමේ උත්සාහයක් අද ක්‍රියාත්මක වූ අතර, ජනතා විරෝධය නිසා එය තාවකාලිකව නවත්වන ලදි.

මෙහිදී සිදු වූ තවත් විශේෂත්වයක් වූයේ චීන ජාතිකයෙකු පැමිණ තමන්ට එහි අක්කර 49ක භූමියක් අයිති බව පැවසීමයි.

මේ පුද්ගලයා එහි සිටි මාධ්‍යවේදීන්ට පවසා ඇති ආකාරයට ඔහුගේ පියා චීන ජාතිකයෙකි. මව ශ්‍රී ලාංකිකයෙකි.

1977 වසරේදී හමුදා කඳවුර පිහිට භූමිය අවට ප්‍රදේශයෙන් අක්කර 49ක භූමියක් ඔවුන්ගේ පවුල විසින් මිලදීගෙන ඇත. ඒ ගොවිපොළක් පවත්වාගෙන යෑම සඳහා ය.

එහෙත් යුද්ධය සහ ආරක්ෂක හේතු නිසා එය සිදු කළ නොහැකි වූ බව ද ඔහු විසින් පවසා තිබේ.

ඊට අදාළ සියලු ලිපිලේඛන තමන් සතු බව ද ඔහු විසින් මාධ්‍යවේදීන්ට පවසා ඇත.

කෙසේ වෙතත් ඔහු තවදුරටත් මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ තමන්ගේ දැන් වයස අවුරුදු 79ක් බවත්, තමන්ට මෙහි ව්‍යාපාරයක් කිරීමට හැකියාවක් නැති බවත් ය.

එම නිසා අක්කරයකට රුපියල් ලක්ෂ සියය බැගින් වන වටිනාකමක් ගෙවන්නේ නම්, තමන්ට අයත් අක්කර 49 ආරක්ෂක අමාත්‍යංශයට හෝ අදාළ වෙනත් ආයතනයකට ලබාදීමට තමන් සූදානම් බව ද ඔහු මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.