පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය සම්මත කරන්නේ නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ රජය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධනය පනත් කෙටුම්පත තුළින් නීති විරෝධී ලෙස උපයාගත් මුදල් නීත්‍යානුකූල කර ගැනීමට අවසර සලසා ඇති බවය.

එම නිසා පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස එම පෙත්සමෙන්  ඉල්ලා තිබේ.