පාස්කු ප්‍රහාරය සහ එයට සම්බන්ධ සිද්ධි මාලාවට අදාළව යම් අදහසක් ප්‍රකාශ කරන පුද්ගලයෙකු සතුව එය තහවුරු කළ හැකි සාක්ෂි තිබෙනවා නම්, එම සිද්ධිය සම්බන්ධයෙන් නඩු පැවරීමට ප්‍රථම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ එම තොරතුරු ඉදිරිපත් කරන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විවෘත ආරාධනාවක් කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (අගෝස්තු 25) පාස්කු ප්‍රහාරය සහ එහි විමර්ශන සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

පොලිස්පතිවරයා එහිදී ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දන්නා තැනැත්තන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර කරුණු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බවය.

විවිධ පුද්ගලයින් නොයෙකුත් මාධ්‍ය මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ ඊට සම්බන්ධ විමර්ශන පිළිබඳව විවිධ මත ඉදිරිපත් කරන බවත් ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව විමර්ශනය කරන බවත් පොලිස්පතිවරයා පැවසීය.

එමෙන් ම පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ, මේ දක්වා විවිධ පාර්ශව ඉදිරිපත් කළ මත පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ බවත් ඒ අනුව ඒවා සත්‍යයෙන් සහ පදනමකින් තොර හුදු ප්‍රකාශ බවට තහවුරු වුණු බවත් ය.

“ලංකාවේ පවත්නා නීතිය අනුව හුදු මතයක් අධිකරණයට ගෙන යාමට හැකියාවක් නැහැ. ඒ පිළිබඳව විමර්ශනය සිදු කරන අතර කරුණු සහිතව අධිකරණය ඉදිරියේ පිළිගත හැකි සාක්ෂි මගින් සාධාරණය සැකයකින් ඔබ්බට එය ඔප්පු කිරීමට අවශ්‍ය වෙනවා. එබැවින් එවැනි මත හෝ තර්ක ඉදිරපත් කරන අයවලුන්ට මා කියා සිටින්නේ, අධිකරණයේ නීති කෘත්‍යයක් පවත්වාගෙන යාම සඳහා අදාළ කර ගත හැකි කරුණු ඉදිරිපත් කරන ලෙසත් පුද්ගලික ප්‍රසිද්ධියක් හෝ තාවකාලික ප්‍රසිද්ධියක් ලබා ගැනීම සඳහා මෙවැනි හිස් පදනම් විරහිත මත හා තර්ක ඉදිරිපත් නොකරන ලෙසයි.”

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කිරීමෙන් පසු, නීතිපතිවරයා අධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව එම නඩුවලට අගතියක් විය හැකි ආකාරයෙන් පදනම් විරහිතව සිදු කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සිදුවිය හැකි බව පොලිස්පතිවරයා මෙහිදී අවධාරණය කළේය.

“පොලිසිය විසින් සිදු කරන විමර්ශන පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව අදහස් ප්‍රකාශ කිරීමට මහ ජනතාවට තියෙන අයිතියට ගරු කරන අතර එවැනි අදහස් විවේචනයට ලක් කිරීමට හෝ එම අදහස් හෑල්ලුවට ලක් කිරීමට අප කිසි විටෙකත් ක්‍රියා කරන්නේ නැහැ. එසේ වුව ද විමර්ශන අවසන් කිරීමෙන් පසු, නීතිපතිතුමා විසින් අධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමෙන් පසු එම නඩුවලට අගතියක් විය හැකි ආකාරයෙන් පදනම් විරහිත සිදු කරන මතයන් හෝ ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සිදුවීමේ අවදානමක් ඇති විය හැකි බව මෙවන් පිරිස්වල සැලකිල්ලට යොමු කිරීමට කැමතියි.”

මේ අතර පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මුල් කාලයේදී සිදු කළ විමර්ශනවල ඇතැම් පරිපාලන අඩුපාඩු සහ දුර්වලතා ඇති බව පෙනී ගිය බවය.

එමෙන් ම, විවිධ පරිපාලන ධූර සඳහා පත්වුණු නිලධාරීන් එම ධූරවල වගකීම් පැහැර හැරීම සහ ඇතැම් නිලධාරීන් තමන් විමර්ශන පිළිබඳව පරිණත බවට තමා විසින් අධිතක්සේරු කරගෙන තමන් විසින් ආරූඪ කර ගනු ලැබූ ප්‍රතිරූප ආරක්ෂා කිරීමේ අරමුණෙන් විමර්ශන ගැඹුරින් සිදු නොකර කෙටි කලකින් විමර්ශන විසඳා අවසන් කළ බවට ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සුක වීම පාස්කු ප්‍රහාරය සම්බන්ධ සියලු විමර්ශනවලට අගතිදායක ලෙස බලපා තිබුණු බව පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.