චීනයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට සූදානම් වන ඝන කාබනික පොහොර තොගයේ සාම්පල් තුළ ක්ෂුද්‍රජීවීන් ඇති බවට අනාවරණය වී ඇති බවත් එය මෙරට කෘෂිකාර්මික හා පාරිසරික ව්‍යවසයකට අතවැනීමක් විය හැකි බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ප්‍රකාශ කරන බව ‘දිවයින’ පුවත්පත වාර්තා කරනවා.

අදාල පොහොර සාම්පල් දෙකෙහිම ක්ෂුද්‍රජීවීන් ඇති බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන මධ්‍යස්ථානය විසින් අනාවරණය කරගෙන ඇති බවයි මහචාර්‍යවරයා පවසන්නේ.

ශ‍්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශවලට අනුව රට තුලට ගෙන්විය හැක්කේ ජීවානුහරණය කරන ලද පොහොර පමණක් වන බැවින් මෙම පොහොර තොග ගෙන්වීම නීතිවිරෝධී බවත් මහචාර්‍යවරයා අවධාරණය කර සිටියා.

මෙම පොහොර තුල ක්ෂුද්‍රජීවීන් රාශියක් සිටිය හැකි බවත් බැක්ටීරියා විශේෂ මගින් ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට මෙන්ම අනෙකුත් පාරිසරික හේතුවලටද බලපෑම් වියහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

පොහොර සාම්පල් තුළ සිටින බැසිලස් ඝනයට අයත් සහ අර්වීනියා ඝනයට අයත් බැක්ටීරියා නැව් මගින් මෙරටට ගෙන එන දින 15දී සැලකිය යුතු ලෙස වර්ධනය වියහැකි බවත් විශේෂයෙන් අර්වීනියා ඝනයට අයත් බැක්ටීරියාවල බලවත් අහිතකර ව්‍යාධිගණකයින් සිටින බවත් මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර ශ‍්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිර්දේශ කර ඇති පිළිගත් ජාත්‍යන්තර පර්යේෂණායතනයකින් (chutter) සිදුකළ පොහොර සාම්පල් පරීක්‍ෂාවේදීද ශ‍්‍රී ලංකාවට චීනයෙන් ගෙන්වීමට ඇති පොහොර තුළ හානිදායක බැක්ටීරියා විශේෂ සහ තවත් ක්ෂුද්‍රජීවීන් ඇති බවට වාර්තා වන බවත් දිවයින වාර්තා කරනවා.