කුඩු ව්‍යාපාර, මත්පැන් අලෙවි සැල්, ටෙන්ඩර් යටිමඩි සිදු කරමින් ධනවත් වූ පුද්ගලයන් නැති ප්‍රභූත්වයක් ලබා ගැනීම සඳහා අලි මංකොල්ලයක යෙදෙන බවත් ආණ්ඩුව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයෙන් අලි වංචනිකයන්ගේ ජාවාරම සාධාරනීකරණය කර තිබෙන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නියෝගයක් පිළිබද (22දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා,

“මෙම ගැසට් පත්‍රයේ අරමුණ තමයි පළමුවෙන්ම අලි නීත්‍යානුකූල කරන්නත් ලියාපදිංචි නොකල අලි ලියාපදිංචි කිරීම. අපේ රටේ පාරම්පරිකව ගත්තොත් විහාරස්ථාන වල අලි සිටියා. දේවාල වල අලි සිටියා. ඒ වගේම යම් වංශවත් පවුල් ගාව තමන්ගේ වංශවත් භාවය පෙන්වීම වෙනුවෙන් මේ අලි ඇතුන් ඇති කළා.

මෙතන තිබෙන්නේ පෙරහැර පිළිබද ප්‍රශ්නයක් නෙවෙයි. අපේ සංස්කෘතීන් පිළිබද ප්‍රශ්නයකුත් නෙවෙයි. මෙතන පැහැදිලි වශයෙන් තිබෙන්නේ අලි ජාවාරම් පිළිබද ප්‍රශ්නයක්. අලුතින් වංශවත් භාවයට ඇතුලු වූ අය හිටියා. ඔවුන් කවුද. අරක්කු ෆැක්ටරි කාරයන්. ඒ වගේම තවත් මේකට පොලා පැනපු අය හිටියා විවිධ ටෙන්ඩර් සහ මගඩි හරහා එකතු කර ගන්න ධනය එකතු කර ගන්න පුද්ගලයන්. ඒ අයත් අර වංශවත් භාවට පොලා පැනපු අය.

ඒ වගේම තව අය හිටියා දේශපාලනයෙන් විශාල මුදල් සම්බාරයක් එක්රැස් කර ගත්ත අය. 2000න් පසු එවැනි විශාල කුලකයක් අපේ රටේ නිර්මාණය වුණා. ඔවුන් කුඩු ව්‍යාපාරිකයන්, අරක්කු ෆැක්ට්‍රිකාරයන්, බාර් හිමියන්, ටෙන්ඩර් යටිමඩි ගහන්නන් මෙවැනි නව ධනවත් කණ්ඩායමක් බිහිවුනා. ඒත් එම ධනයත් පුද්ගලයන්ට වංශවත් පවුල් සමග හීනමානයක් තිබුනා.

ඒ නිසා මේ අලුතින් පොලා පැනපු අයට අවශ්‍ය වුනා තමන්ගේ හීන මානය යටපත් කර ගැනීම වෙනුවෙන් අලියෙක් ඇති කරන්න. ඔවුන් රාජ්‍ය පාලනයට උපදෙස් ගන්නේ ඥාක්කාගෙන්. බෙහෙත් ගන්න යන්නේ ඒලියන්ත වයිට්ගෙන්. කෝවිඩ් වලට බෙහෙත් හොයන්නේ ධම්මික පැණියෙන්. ඔවුන් ධනය එක්රැස් කර ගත්තද කවදාවත් සංස්කෘතිකමය වශයෙන් මනස දියුණු පවුල් බවට පත්වුනේ නෑ.

අනිත් පැත්ත තමයි මේ අලියෙක් ලක්ෂ 100-150ට අලෙවි වෙන්න ගත්තා. ඒ නිසා මේ අලි මංකොල්ලය නිකන් සිදුවුනු දෙයක් නෙවෙයි. මේ මංකොල්ලය ඇති වෙන්නේ නැති වංශවත් ප්‍රතාපවත් භාවය ඇති කර ගැනීමට තමන්ගේ හීනමානය අත්පත් කර ගැනීමට අවශ්‍ය මෙවලමක් විදියට සහ ව්‍යාපාරයක් ලෙස. මේක අලි ජාවාරමක් වුනා.

ඒ නිසා මේ අලි ලියාපදිංචි කිරීම සඳහා ක්‍රමවේදයක් හදලා තිබුනා. 1991 පනත අනුව ලියාපදිංචි නොකල අලියෙක් සිටියා නම් ඔහු පොදු දේපලක්. දැන් මේ පනතින් දෙනවා ලියාපදිංචි නොකල අලියෙකුට ලියාපදිංචි කිරීම බලපත්‍රයක්. ලියාපදිංචි නොකල අලියෙක් කියන්නේ හොර අලියෙක්. දැන් මේකෙන් කරන්න හදන්නේ මේ අලි ජාවාරම්කරුවන්ට ඉනිමන් බැදීමක්. ඔවුන්ගේ ජාවාරම සාධාරනීකරණය කිරීමක්.” යනුවෙන්ද සඳහන් කළේය.