කාබනික පොහොර මෙරටට ගෙන්වීමේ ටෙන්ඩරය ලබාගත් චීන සමාගමෙන් ගෙන්වූ පොහොර සාම්පලයක තිබී අහිතකර බැක්ටීරියාවක් හමුවීම පිළිබඳව මේ වනවිට පුළුල් සංවාදයක් ඇතිවී තිබේ.

චීන සමාගමෙන් ගෙන්වූ පොහොර සාම්පලය තුළ අර්වීනියා නමැති අහිතකර බැක්ටීරියාව හමුවී තිබුණේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන සේවය සිදුකළ පරීක්ෂණයේදීයි.

අල, ලූණු හා කැරට් වැනි අහාර වගාවල ඵලදාව විනාශ කිරීමේ හැකියාව මේ අහිතකර බැක්ටීරියාව සතුයි.

මෙම චීන පොහොර පිළිබදව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය වර්සි දන්දෙනිය මහත්මියද අදහස් පළ කරා

ප්‍රශ්නය:-

චීනයෙන් ගෙන්වන කාබනික පොහොර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් පිළිගත් පිටරට පර්‍යේශනාගරයකින් සමීක්ෂණය කර ක්ෂුද්‍රජීවීන් නැති බවට පැවසුවාලු…?

පිළිතුර:-

ජර්මනියේ පිහිටි මෙම පර්‍යේශනාගාරය පරීක්ෂණ කරනු ලබන්නේ මිනිසාට ව්‍යාධිජනක වන තෝරාගත් ක්ෂුද්‍රජීවී කාණ්ඩ කිහිපයකට පමණයි. ඔවුන්ගේ වාර්තාව පෙන්වා දෙන්නේ ඔවුන් අරමුණුකොට පරීක්ෂාකල ක්ෂුද්‍රජීවීන් නැතිබව පමණයි. එනිසා ශාකවලට හානිකර විය හැකි ජීවීන් නොමැති බව ඔවුන් තහවුරු කර නැත

ප්‍රශ්නය:-

චීන පොහොර හදන්නේ මුහුදු පැළෑටි (seaweed) භාවිතයෙන් නිසා Erwinia නම් බැක්ටීරියාව එහි සිටිය නොහැකිලු…

පිළිතුර:-

Erwinia නම් බැක්ටීරියාව මුහුදු ජලය වැනි අධික ලවණතාවක් ඇති පරිසරවල ජීවත් නොවන නිසා කෙසේවත් මුහුදු පැළෑටි පමණක් භවිතා කර නිශ්පාදනය වන පොහොරක සිටිය නොහැකියි. නමුත් මෙම චීන පොහොරේ මෙම බැක්ටීරියාව වාර්තා වීමත් මෙම පොහොරේ නයිට්‍රජන් ප්‍රතිශතයත් (10-15%) පවසන්නේ මෙය හුදෙක් මුහුදු පැළෑටි පමණක් යොදා නිපදවන්නක් නොවන බවය. චීනට රැවටිලාද නැත්නම් අපිවම රවටගන්නවාද?

ප්‍රශ්නය:-

පොහොර ගෙන්වීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිලිගන්නා පර්‍යේශනාගරයකින් වාර්තාවක් ලබා ගැනීම ප්‍රමාණවත්ලු. ලංකාවේ පර්‍යේශනාගරයකින් පරීක්ෂා කලේ නිකමටලු. එහෙම අවශ්‍ය නැතිලු.?

පිළිතුර:-

මෙය සාවද්‍ය ප්‍රකාශයකි. නියමිත ක්‍රමවේදයට අනුව කාබනික පොහොර සාම්පලයක් පවා රට තුලට ගැනීමට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වන ජාතික ශාක නිරෝධායන සේවය (National Plant Quarantine Service – NPQS) මගින් පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් කලයුතු වේ. SLSI 1704 ප්‍රමිතියට අනුව ජීවීන් රහිතනම් පමණක් රට තුලට එම කාබනික පොහොර ගැනීම අනුමත වේ. නමුත් පාර්ශව කිහිපයක් විසින් ‘ජීවීන් රහිත’ යන්න ‘හානිකර ජීවීන් රහිත’ ලෙස වෙනස් කර කෙසේ හෝ මෙම පොහොර තොගය රට තුළට ගැනීමට වෙර දරනවා.

ප්‍රශ්නය:-

අහිතකර ක්ෂුද්‍රජීවීන් ඇති පොහොර කිසිසේත්ම ගෙන්වන්නේ නැතිලු…?

පිළිතුර:-

සමහර ව්‍යාධිකාරක ජීවීන් කිහිපයක් හැරුණුවිට බොහොමයක් ජීවීන්ගේ හිතකර අහිතකර බව හරිම සාපේක්ෂයි. ඔවුන් ඇතුලුවන පරිසරයේ සිටින අනෙකුත් ජීවීන් සමග ඇති අන්තර්ක්‍රියා ඔවුන්ගේ හිතකර හෝ අහිතකර බව තීරණය කරයි. සමහර ජීවීන් ආක්‍රමණශීලී ගති පෙන්වා නව පලිබෝධකයින් බවට පත්වීමටත් පුලුවන්. එසේම පර්‍යේශනගාර වල භාවිතා කරන culture based ක්‍රම මගින් අපට තොරතුරු ලැබෙන්නේ පරික්ශා කරන සාම්පලවල ඇති ක්ෂුද්‍රජීවී ගහණයෙන් 10%ක පමණ සුලුතරයක් ගැන පමණයි. පර්‍යේශනාගර තුල වගා කල නොහැකි සහ අප අරමුණු කොට නොසොයන බහුතරයක් වූ ජීවීන් අතර ව්‍යාධිකාරකයින් සහ හානිකර ජීවීන් සිටිය හැකියි. එසේම වයිරස ගැන කවුරුවත් කතානොකලත් මෙම පොහොර හරහා රෝග කාරක වයිරස පැමිණිය හැකියි. වයිරස පිලිබඳ විමසීමක් දැනට නැත. දැනට භාවිතාවන තත්ත්ව පරික්ෂා එමනිසා ප්‍රමාණවත් නොවේ.

ගොවියාට අවශ්‍ය පොහොර රට තුළ නිශ්පාදනයෙන් පමණක් පිරිමසාලීමට මේ අවස්ථාවේ නොහැකිබවත් ඒ නිසා නිලධාරීන් ඉතා අපහසුතාවයකට පත්ව ඇති බවත් ඇත්තයි. නමුත් ඒමට නියමිත ගෝරනඩුවට බයේ කිහිපදෙනෙක්ට අයථා ලෙස මුදල් ඉපයීමට ඉඩ දෙමින් රටේ පාරිසරික පද්ධතියම අනතුරේ හෙලන්නේ ඇයි?