පාස්කු ප්‍රහාරයෙන් අසාධාරණයට ලක්ව සිටින වින්දිතයන්ට සාධාරණය ඉල්ලා අද (22) දිනයේදී අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් නිව්යෝක් නුවර උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත.

පෙරවරු 9.30ට මැන්හැටන්හි ඩැග් හැමර්ස්කොල් ප්ලාසාහි මෙම උද්ඝෝෂණය ආරම්භ වී ඇති අතර ඊට කළු ඇදුමින් සැරසුණු ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්රැස් වී සිටින බවක් දැකගන්නට ඇත.

විදෙස් රටවල මෙවැනි විරෝධතා සිදු කිරීම ආරම්භ වූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය අතරතුරදීය.

එහිදී ඉතාලියේ බොලොඤ්ඤා නුවර අගමැතිවරයා සමුලුව අමතමින් සිටියදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා විරෝධතාවක නිරත විය.

ඉන් අනතුරුව ප්‍රංශයේ පැරිස් නුවරද මේ ආකාරයේම විරෝධතාවක් ශ්‍රී ලාංකිකයන් විසින් පවත්වනු ලැබ තිබිණ.