විවාහ මංගල කටයුතු ඇතුළු උත්සව සඳහා යම් සීමාවන් ට යටත්ව ලැබුණු නිදහස අවභාවිත නොකරන ලෙස ප්‍රවීණ ගායන ශිල්පී නලීන් පෙරේරා මහතා ඉල්ලා සිටී.

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ, මේ වන විට බොහෝ තැන්වල විවාහ මංගල උත්සව සඳහා පුද්ගලයින් 150 ට වැඩි පිරිසක් සහභාගී කරවාගෙන ඇතැයි තොරතුරු ලැබී ඇති බවය.

විවාහ මංගල කටයුතු ඇතුළු උත්සව තහනම් කිරීම හේතුවෙන් එම කර්මාන්තය හා බැඳුණු කලාකරුවන් දැඩි අර්බුදයකට පත්වී තිබෙන බව තමා මැදිහත් වී බලධාරීන්ට පවසා සිටි බවත්, ඉන් පසු දුන් අවසරය විවිධ පාර්ශව අවභාවිත කිරීම නිසා තමා ලැජ්ජාවට පත්ව සිටින බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පවතින තත්ත්වය තුළ සියලුදෙනා තම වගකීම් නිසි ලෙස අවබෝධ කරගනිමින් ස්වයං විනයක් සහිතව හැසිරීමට වගබලා ගත යුතු බවත් එසේ නොවුණහොත් තවත් මාසයක් ගතවීමට මත්තෙන් නැවත සීමා කිරීම් සිදුවෙනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නලීන් පෙරේරා,

“මගේ වොයිස් එක රතු නිවේදනයක් ලෙස සටහන් කරන්න කැමතියි කේෂ්ත්‍රයේ ඉන්න සියලුදෙනාටම,

මම හිතපු නැති විදියට හැමදේම කණපිට හැරවුණා. අද උදේ මට ජනාධිපති කාර්ය සාධක බළකායේ මට කෝල් එකක් ආවා දැනට වෙඩින් කරන්න අවසරය දුන්නට පස්සේ වෙඩින්වල සිදුවන අකටයුතුකම් පින්තූර සහ වීඩියෝ සමඟ එව්වා. ටික වේලාවක් ගියේ නෑ දොස්තර අසේල ගුණවර්ධනගෙන් කෝල් එකක් ආවා. නලින් ඔයාලා හැමෝම වෙනුවෙන් කථා කරලා මොකද්ද මේ කරන වැඩේ කියලා. අවසන් වතාවට කියන්නේ මේක රැක ගත්තේ නැත්නම් මාසයක් ඇතුළත මේක වහන්න. මේක මං හිතන්නේ සාකච්ඡා වෙලා වුණ දෙයක්. ටික වෙලාවක් ගියේ නෑ කර්මාන්ඩර්ගෙන් කෝල් එකක් ආවා. නලීන් මාව බෙල්ලට තියන්න එපා ඔයගොල්ලන්ගේ වැඩේ මම කරලා දුන්නා. හෝටල්වල, බෑන්ඩ්වල හැමෝම එයාට මතක් වන අය සිහිපත් කරලා කිව්වා මේක හරි විදියට මිනිස්සුන්ව පාලනය කරන්න පුළුවන් තත්ත්වයේ තියා ගන්න කියලා. මම මුලික වෙලා කතා කරපු නිසයි එයා මට කතා කළේ. මේ කේෂ්ත්‍රයේ ඉන්න අය හැමෝම මට කියන්න මොකද්ද දැන් මම ඉස්සරහට කරන්න ඕන කියලා. 

මම නං ආය කතා කරන්න යන්නේ නෑ. අපිට වගකීමක් තියෙනවා මේක රැක ගන්න.  විශේෂයෙන් හෝටල්වල අය, මම එයාලට බය නැතුව කියනවා අපිට හෝටල්වලට කතා කරේ නැතත් කමක් නෑ. මේක වගකීමෙන් ගත්තේ නැත්තම් හෝටලුත් වහගෙන බෑන්ඩ්කාරයොත් ගෙවල්වල ඉදගෙන, ඩීජේකාරයෝත්, වෙඩින් පෑලන්ස්ලත් ගෙවල්වල ඉදගෙන ඉන්න තමයි ඉස්සරහට වෙන්නේ. ක්ලයන්ට්ව පාලනය කරන හැන්ඳ තියෙන්නේ හෝටල්වල අයට. 150ට චීට් කරලා දැනටමත් වෙඩින් කරලා තියෙනවා.  මොන ලැජ්ජා නැති වැඩක් ද? ඔය වගේ ආත්මාර්ථකාමී වෙන්න එපා. මට ලැජ්ජා හිතුනා අද. දැන් කතා කරන්න ඉන්නේ ජනාධිපති විතරයි. මම කෙලින්ම කිව්වා ඒ වගේ හෝටල් තියෙනවා නම් ඒ වගේ බෑන්ඩ් තියෙනවා නම් තහනම් කරන්න කියලා. මාස දෙක තුනකට හෝටල් වහන්න. ඔයගොල්ලෝ තීන්දුවක් ගන්න මම පූර්ණ සහයෝගය දෙනවා කිව්වා. මට වෙන උත්තර නැති නිසා. මේක මගේ බබෙක් නෙමෙයි තුරුළුකරන් ඉන්න. අපි හැමෝගේම වගකීම. ආත්මාර්ථකාමී වෙන්න එපා. තමන්ගේ ස්වයං විනය තියා ගන්න හැමෝම. එහෙම නැත්තනම් මමයි කියන්නේ ඉදිරිපත් වෙලා මේක වහන්න. එදාට මාව පාලනය කරන්න බෑ කාටවත්.“