කොවිඩ් මර්දන කාර්ය සාධක බළකාය අහෝසි කළ යුතු බවට දේශපාලනඥයන් විසින් සිදු කරන ප්‍රකාශ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අද (09) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හමුදාපතිවරයා සදහන් කර සිටියේ කාර්ය සාධක බලකාය තනිව තීන්දු තීරණ නොගන්නා බවත්, සෞඛ්‍ය අංශය ඇතුළු කොවිඩ් මර්දනය සඳහා සම්බන්ධ වී සිටින සියලු අංශවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් තීන්දු තීරණ ගැනීම සිදුවන බවත්ය.

මේ වනවිට එන්නත්කරණය ඉතා සාර්ථකව රටපුරා ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන යුද හමුදාපතිවරයා පවසන්නේ ඒ සඳහා සම්බන්ධ වී සිටින ත්‍රිවිධ හමුදා වෛද්‍ය කණ්ඩායම් සම්බන්ධයෙන් රටේ ජනතාවගේ ප්‍රසාදය හිමිව තිබෙන බවයි.

එවැනි තත්වයක් තුළ දේශපාලනඥයන් හමුදා සාමාජිකයන්ගේ කටයුතු සහ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ කටයුතු විවේචනය කිරීම කිසිසේත්ම සුදුසු නොවන බවද ඔහු පෙන්වා දෙයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ ඊයේ ප්‍රකාශ කර තිබුණේ, කොවිඩ් මරණ ඉහළ යාම සහ වසංගත තත්වය රටපුරා වර්ධනය වීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය වගකීම බාරගත යුතු බවයි. එම කාර්ය සාධක බලකාය වසංගතය මැඩපැවැත්වීමට අසමත් වී ඇති නිසා එය අහෝසි කර, සියලු තීන්දු ගැනීමේ බලය සෞඛ්‍ය බලධාරීන් වෙත ලබාදිය යුතු බවද වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබිණි.