ශ්‍රී ලාංකිකයින්ට නවතම සංචාරක අත්දැකීමක් ලබාදීම හා විදේශීය සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් කොළඹ කුරුළු උද්‍යානය (Colombo Bird Park) සංවර්ධන ව්‍යාපෘතිය මාදිවෙලදී ආරම්භ කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය සතුව මාදිවෙල පිහිටි අක්කර 39 ක පමණ විශාලත්වයකින් යුත් වගුරු බිමක් මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට නියමිතය.

අතර මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කරන විට මෙම වගුරු බිම අවට ඇතැම් පදිංචිකරුවන් විසින් අනවසරයෙන් අත්පත් කරගැනීම්, අපද්‍රව්‍ය බැහැර කිරීම්, තෙත් බිම හරහා ගලා බසින ඇළ මාර්ගයන් වෙත මළ අපවහන පද්ධති සම්බන්ධ කිරීම හා අනවසර ලෙස ගොඩ කිරීම් හේතුවෙන් මෙම තෙත් බිම විශාල තර්ජනයකට හා විනාශයට ලක්වී තිබුණි.

මිනිසුන් විසින් අපවිත්‍ර කරන ලද ඇල මාර්ග, අපජලය ගලා බසින කාණු පද්ධති යථා තත්වයට පත් කර ශුද්ධ පවිත්‍ර කිරීම ද මේ දිනවල කොළඹ කුරුළු උද්‍යානයේ සිදුකෙරෙමින් පවතී.

එබැවින් මෙම තෙත් බිම සුරැකීමට හා දියවන්නා ඔය සමඟ සෘජුව සම්බන්ධ වන මෙම තෙත් බිම හරහා ගලා බසින ඇළ මාර්ග පවිත්‍රව තබා ගැනීමේ අරමුණින් කොළඹ කුරුළු උද්‍යාන ව්‍යාපෘතිය මාදිවෙල තෙත් බිම කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.

පරිසරයට සුන්දරත්වයක් එක් කිරීමේ අරමුණින් කුඹුක් ගස්, ඇහැල ගස් සහ මී ගස් 2,500 ක් කොළඹ කුරුළු උද්‍යානය තුළ සිටුවීමට ද නියමිතය.

කොළඹ කුරුළු උද්‍යානය ලොව සංචාරක ආකර්ෂණය කොළඹ නගරයට යොමු කරගැනීමේ ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක් බවට වසර 2025 වන විට පත් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන අරමුණයි.

දෙස් විදෙස් කුරුල්ලන්ගෙන් හා ලොව ප්‍රධාන සංචාරක උද්‍යානයන් හිදී ඇතුළත් නවතම ක්‍රීඩා අංගයන්ගෙන් යුක්තව පරිසර හිතකාමී අයුරින් මෙම උද්‍යානය ඉදිකිරීමට නියමිතය. මෙම උද්‍යානය කුරුළු සංදර්ශන, විදේශ හා දේශීය පක්ෂි ගවේෂණ, ජල උද්‍යාන, වන උද්‍යාන හා අවන්හල්වලින් (Cafeteria) සමන්විත අංග සම්පූර්ණ තේමා උද්‍යානයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර ඇත.

එමෙන් ම දැනට විනාශ වෙමින් පවතින මාදිවෙළ තෙත් බිම සුරැකෙන අයුරින් සියළුම ඉදිකිරීම් නිම කිරීමට යෝජිත අතර තෙත් බිමෙන් 2% ක පමණ ප්‍රමාණයක් සංවර්ධනය වන ආකාරයෙන් ද අනෙක් භූමි ප්‍රමාණය පරිසර හිතකාමී ලෙස උද්‍යාන නිර්මාණීය සැලසුමකට අනුකූලව සංවර්ධනය කිරීමට යෝජිතය.

තවද මෙම ව්‍යාපෘතිය සංවර්ධනය, නිර්මාණය, ඉදිකිරීම, මූල්‍යනය හා ක්‍රියාත්මක කිරීමේ පදනම මත සිදු කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය සඳහා වැය වන මුළු මුදල රුපියල් බිලියන 1.5 ලෙස ඇස්තමේන්තු ගත කර ඇති අතර වසර 02 ක් තුළ ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂිතය.

පරිසර හිතකාමී මෙන් ම රටේ පවතින නීතිමය ක්‍රමවේදයන්ට යටත්ව ඉදිකෙරෙන කොළඹ කුරුළු උද්‍යාන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හා නාගරික සංවර්ධන අධිකාරිය යන රාජ්‍ය ආයතනයන්හි අනුමැතිය හා සංවර්ධනය සැළසුම් මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම කුරුළු උද්‍යාන ව්‍යාපෘතිය ආයෝජකයා විසින් ඉදිකිරීම් හා නඩත්තු කර පවත්වාගෙන යාම සිදු කළ යුතුය.

කොළඹට කුරුළු උද්‍යානයක් - Lanka News Channel
කොළඹට කුරුළු උද්‍යානයක්.... - Lanka Fast Newsකොළඹට කුරුළු උද්‍යානයක් || ADA Onlineකොළඹට කුරුළු උද්‍යානයක් || ADA Onlineකොළඹට කුරුළු උද්‍යානයක් || ADA Online