”හෝදලා සුද්ද කරලා පවුඩර් ටික ගහලා එළියට දාපු අන්තිම තුරුම්පුව ලෙස සැලකූ බැසිල් රාජපක්ෂත් ෆේල්” යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසයි. 

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“මේ ආණ්ඩුවට අවසානයේදී පාවිච්චි කරන්න තිබුණු තුරුම්පුව බැසිල් රාජපක්ෂයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සවුත්තු වෙලා ඉවරයි. මහින්ද රාජපක්ෂ මහත්තයා සවුත්තු වෙලා ඉවරයි. චමල් රාජපක්ෂ මහත්තයා සවුත්තු වෙන්න එළියට යන්නේ නැහැ. ඒ අය ආවොත් තවත් ප්‍රශ්නයක්. ඒ නිසා ඒ අය පිළිගන්නෙ නැහැ. 

නාමල් රාජපක්ෂගේ ඇඟේ දැන් ම කුණු ගාන්න හොඳ නැහැ. එම නිසා දාපු අලුත් ම තුරුම්පුව තමයි බැසිල් රාජපක්ෂ. 

මිනිස්සු කිව්වා බැසිල් රාජපක්ෂ එනවා. ආර්ථිකය ගොඩ දානවා. බඩු මිල අඩු කරනවා. වැඩි කරපු පෙට්රල් මිල බැසිල් මහත්තයා ආවම අඩු කරනවා කිව්වා. මොළ හතක් තියෙනවා කිව්වා. මොළ හතානෝ ආවා කියලා පෙට්‍රල් මිල අඩු වුණා ද? බඩු මිල අඩු වුණා ද? රු. 85ට තිබුණු සීනි ටික තමයි දෙසීය පන්නලා ගියේ. එයින් මහජනතාව කුලප්පු වුණා. ඒ නිසා හොරා පොලිස් කරන්න ආණ්ඩුවට සිදුවුණා. දැන් ආණ්ඩුවට තිබුණු අන්තිම තුරුම්පුව වුණු බැසිල් රාජපක්ෂ මහත්තයාත් ඉවරයි. ඉන්ධන මිල අඩු කරනවා කියලා ආපු බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි අද හාල්, පිටි, සීනි, පරිප්පු දෙතුන් ගුණයකින් මිල ඉහළ දාන්නේ.”