පසුගිය කාර්තුවේ සියයට 4.2% ක ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමට හැකි වුවත්, මාසයක කාලයක් සංචරණ සීමා පැනවීම නිසා එය යම් පසුබෑමකට මෙම කාර්තුවේදී ලක්වීමට ඉඩ ඇති නමුත් රට විවෘත කිරීම සහ බැසිල් රාජපක්ෂගේ ආගමනයත් සමඟ යළි අපේක්ෂිත ඉලක්ක කරා ආර්ථිකය මෙහෙයවිය හැකි බවත් මුදල්,ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යය  අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කළේය.

මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් උඩිස්පත්තුව මහවැලි ක්‍රීඩාංගනයේ සංවර්ධනය කරන ලද අත්පන්දු  මුදල් ක්‍රීඩාංගනය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයෙන් අනතුරුව පසුගියදා මාධ්‍ය හමුවේ අදහස්  දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. සෞඛ්‍ය බලධාරීන්ගේ අදහස් අනුව රට ඉක්මනින් විවෘත කර  නැවත වරක් රට සංවර්ධන මාවතට කඩිනමින් ගෙන යන බවද ඒ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව ද ප්‍රකාශ කළේය.

පසුගිය ආණ්ඩුවට වඩා ඉදිරියෙන් සිට අපි වැඩ කටයුතු කරගෙන යනවා.රටේ විදේශ මුදල් මදි කියන කතාව විපක්ෂය මන්තරයක් වගේ වත්මන් ජනාධිපතිතුමා බලයට පැමිණි දවසේ පටන්ම මතුරනවා.ගෙවන්න තිබෙන දේශීය හා විදේශිය ණය සියල්ල අපි ගෙවන බව පැහැදිලිව කියනවා.ඒ සම්බන්ධව කිසිම ගැටලුවක් කවුරුවත් ඇති කරගත යුතු නැහැ.කොවිඩ්  වසංගතය නිසා අපිට විවිධ ප්‍රශ්න ඇතිවුණා.විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීම මේකට බලපෑවා.වැඩි කාලයක් යන්නට පෙර අපි රුපියල ස්ථාවරත්වයට පත් කරනවා.

බංගලාදේශයෙන්  ලබාගෙන තිබෙන්නේ ණය මුදලක් නොවෙයි.ඒක මුදල් හුවමාරුවක්.බලගලාදේශයට අපහාස කරන්න එපා කියලා මම විපක්ෂයට කියන්න කැමතියි.බංගලාදේශය දියුණු වන රටක්.ඔවුන්ගේ  ඒක පුද්ගල ආදායම අපේ තරම් මට්ටමක නැති වුණත් රටේ විදේශ සංචිත ප්‍රමාණය වැඩි කරගන්න ඔවුන්ට පුළුවන් වෙලා තිබෙනවා.අපේ විපක්ෂය බලයේ  ඉන්නකොට  කළේ සංචිත ප්‍රමාණය දැවැන්ත ලෙස අඩුකර ගන්න එකයි.මම මහ බැංකු අධිපති ලෙස ඉඳලා රට විපක්ෂය බාර ගන්නකොට බිලියන 08 ක සංචිත තිබුණා.තවත් බිලියන 12 ක ණයකුත් අරගෙන ඒ අය  අපට දුන්නේ බිලිවන  08 ක සංචිත ප්‍රමාණයක් පමණයි.ඒ අයගේ දුර්වලතා නිසා තමයි අපිට මේ ප්‍රශ්නය ඇති වෙලා තිබෙන්නේ.ඒක කඩිනමින් අපි නිවැරදි කරනවා.

අපි හැම අභියෝගක්ම ජයගෙන තිබෙනවා.සැලෙන්නනේ නැහැ. හැංගෙන්නේ නැහැ.පක්ෂ අතර මත ගැටුම් තිබෙනවා. නමුත් හිතනවාට වඩා යහපත් ලෙස නිරාකරණය කර ගන්නවා. විසිවැනි සංශෝධනය හා පෝට් සිටි සිද්ධි වලදී ඒක තහවුරු වුණා. ජාත්‍යන්තර වශයෙන් අපිට  අවශ්‍යය සහාය ලැබිලා තියෙනවා.රටවල් සමඟ ගනුදෙනු කටයුතු කරනවා. සියලුම රටවල් සමග හොඳ සම්බන්ධයක් තියෙනවා.අපට ජත්‍යන්තරය සමඟ කිසිදු ප්‍රශ්නයක් නැහැ.කොවිඩ් වසංගත  තත්ත්වය  යටතේ වුවත් රටේ සංවර්ධන කටයුතු නියමිත පරිදි කරගෙන යනවා.මුළු ලෝකෙම ආපස්සට යනවා.නමුත් මේ රට පස්සට ගිහිල්ලා නෑ. සියලු සංවර්ධන ව්‍යාපෘති අපි කරගෙන යනවා.