ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනු කමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා අයවැය ලේඛනයට ඇතුළත් කරන තෙක් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රුපියල් පන්දහසක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත් ගුරු විදුහල්පති වෘත්තිය සමිති සඳහන් කළේ කැබිනට් මණ්ඩලයේදී ගනු ලබන තීරණය ලිඛිතව තමන් වෙත ලබාදෙන තුරු සිය වෘත්තිය ක්‍රියාමාර්ග නතර නොකරන බවයි.

වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය ආරම්භ කර අදට දින 50 ක් ගතවනවා.

මොවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අමාත්‍ය අනු කමිටුවක් පත් කෙරුණු අතර, එම අනු කමිටුව අවස්ථා කිහිපයකදී වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ  යෝජනා ලබාගත්තා.

පසුව අනු කමිටුව සකස් කළ විසඳුම් යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී ගැනීමටයි නියමිත වූයේ.

ඒ අනුව රුපියල් පන්දහසේ දීමනාවක් ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු නැවත ආරම්භ කරන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවද වාර්තාවුණා.  

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් සඳහන් කළේ නිත්‍යානුකූලව අත්සන් කර ලිඛිතව තම ඉල්ලීම් සඳහා විසදුම් ලබාදුනහොත් පමණක් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරින බවයි.

මේ අතර, ගුරුවරුන් 400කට පමණ කොරෝනා ආසාදනය වී ඇති බවත්, ගුරුවරුන් 25 දෙනෙකු පමණ කොරෝනා හේතුවෙන් මිය ගිය බවටත් පළ වූ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.