පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡාවක් අද (01දා) පැවැත්විණි. කොළඹ 07, මහගමසේකර මාවතේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ පැවැත්වුණු එම සාකච්ඡාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් චමීර කොස්වත්ත, රවීන්ද්‍ර මුදලිගේ, පුබුදු ජයගොඩ සහභාගි වූහ.

චීනයේ, අමෙරිකා එක්සත් ජනපදයේ බලදේශපාලනික ගැටුමට ලංකාව මැදිහත් කරගැනීමත්, යුරෝපා සංගමය හා ඉන්දියාව එහිදී ඉටුකරන කාර්යභාරය සහ රටට එල්ල වෙමින් තිබෙන පීඩනය සම්බන්ධවත් කරුණු දක්වමින් සාකච්ඡාව පැවැත්වුණු බව පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේය.

මේ වනවිට විරෝධයට ලක්ව ඇති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධ සාකච්ඡාවක් කෙරුණු බවද එම කාරණයේදී ශ්‍රීල.නි.ප. සහ පෙ.ස.ප. අතර ප්‍රතිපත්තිමය වෙනස්කම් තිබියදී යම් කරුණුවලට එකඟ විය හැකි තත්වයක් තිබෙන බව පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.

 පක්ෂ දෙක අතර ප්‍රතිපත්තිමය පරස්පරතා තිබියදී ඉන්දිය සාගර කලාපීය භූ දේශපාලනික ආතතීන්වලදී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පමණක් නොව, රාජ්‍ය දේපළ විකිණීම, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය වැනි කාරණාවලදී ඒකඟ වියහැකි නිශ්චිත කාරණා ඇති බව සාකච්ඡාවේදී මතු වූ කරුණු ලෙස පවතින බවද ඔහු කියා සිටියේය. තවද ඉදිරියේදී මෙවැනි සාකච්ඡා පවත්වා ගෙන යමින් ඇතැම් කරුණ සඳහා පක්ෂවලට එක්ව ක්‍රියාමාර්ග ගැනීමට හැකිවනු ඇති බවද පැවසීය.

ශ්‍රිල.නි.ප. සමග මෙම සාකච්ඡාව, රටේ අර්බුදය හේතුවෙන් ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සම්බන්ධ විසඳුම් සෙවීමට පෙ.ස.ප. විසින් පක්ෂ කිහිපයකට යෝජනා කළ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක එක් අවස්ථාවකි.

ඒ අනුව, ඒ පක්ෂවලට ලිඛිතව කළ යෝජනාවකට ප්‍රතිචාර ලෙස  ශ්‍රිලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය සමඟ පෙ.ස.ප. සාකච්ඡා පැවැත්වීය. ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.