අත්‍යවශ්‍ය සේවා යැයි කියමින් ලොක්ඩවුන් කාලය තුළ ලක්ෂ 60ක් පමණ පිරිසක් එළියේ ගැවසෙන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි.

එම ලක්ෂ 60ක පමණ පිරිස අනිවාර්යයෙන් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළ යුතු අතර එයින් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගන්නා අය නිවෙස්වල රැඳවීමට හා ඒ ඒ රෝගීන් අනුව රෝහල්ගත කළ යුතු බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

විශේෂයෙන් අවුරුදු 5ට අඩු දරුවන්, පාසල් හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, රැකියා නොකරන හා වයස්ගත පුද්ගලයන් නිවෙස්වල රැඳී සිටියත් මෙම රාජකාරියේ නිරත වන පුද්ගලයන් නිසා ඔවුන් ද කොවිඩ් රෝගයට ගොදුරු විය හැකි විශාල අවදානමක් පවතින බවත් මේ පවතින්නේ හරි විද්‍යාත්මක ලොක්ඩවුන් ක්‍රියාවලියක් නොවන බවත් ඔහු ‘මව්බිම’ට පැවසීය.

තවදුරටත් රටේ ක්‍රියාත්මක වන්නේ මිලිටරිකරණ හා දේශපාලනීකරණ ක්‍රියාවලියක් බැවින් ඉන් ජීවිත අවදානමට ලක්වන්නේ රටේ සාමාන්‍ය පුරවැසියාගේ බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.