ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු කෙරෙන ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද්ධ අභ්‍යාසය සති දෙකක් පුරාවට ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි.

ඒ සඳහා සහභාගි වන ඉන්දියානු යුද්ධ හමුදාවේ නිලධාරීන් 18 දෙනෙකු සහ සෙසු නිලයන් 102 දෙනෙකු ඊයේ (ඔක්. 2) දිනයේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සමග සිදු කරන මෙම අභ්‍යාසය අම්පාර සටන් පුහුණු පාසලේ දී ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇත.

ඒ, කොවිඩි-19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලවය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද්ධ අභ්‍යාසයේ අධ්‍යක්ෂක ලෙස 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ මහතා කටයුතු කරනු ලැබේ.