විශේෂ ලියුම්කරුවෙකු විසිනි

රට විනාශ වෙමින් යන බව පැහැදිලිව ම පෙනෙන දෙයකි. දශක හතක් පමණ පුරා විවිධ අවස්ථාවාදී හා අධූරදර්ශී පාලකයන් ගෙනගිය ක්‍රියා පිළිවෙත් මෙයට හේතු වූවා විය හැක. විවිධ අවස්ථාවල විවිධ සටන්පාඨ ගෙන එමින් ජනතාව රැවටූ පාලකයන් හදුනා ගැනීමට ජනතාවට නොහැකි විය. අදටත් එයම සිදුවෙමින් පවතී. රට දිනවීමට නොව චන්දය දිනීමට කටයුතු කිරීම දේශපාලනය ලෙස එලිපිටම අර්ථ දක්වන්නට තරම් බොහෝ පාලකයන් එඩිතර වී ඇත. ඔවුන් වැඩක් කරන්නේ තම සාක්කුවට හෝ ඊලග චන්දයට එය වාසිදායක නම් පමණි.මෙම ක්‍රමය රටතුල ස්ථාපිත වූයේ චන්දදායකයා ගේ වරදිනි. ඔහු බැලුවේ ද පාලකයාගෙන් අපිට ලැබෙන්නේ කුමක්ද කියාය. මට හෝ අපිට වැඩිපුර දෙයක් දෙන පාලකයන් මිස රටේ දියුණුවට වැඩිපුර දෙයක් කරන පාලකයන්ට රටේ නායකත්වයට ඒමට චන්දදායකයා ඉඩදුන්නේ නැත. මේ හේතුව නිසා රට හදන්නට සිටි මිනිසුන් හා පක්ෂ වලට නිසි තැනත් නැතිවිය.අද රටේ තත්වය ඊට වෙනස් වී ඇත. රට සීග්‍රයෙන් කඩාවැටෙමින් පවතී. එය ජනතාවට දරාගත නොහැකි තත්වයට පත්ව ඇත. එසේම පාලකයාට ද පාලනය කල නොහැකි තත්වයට එය පත්ව ඇත. දැන් දැන් ජනතාව කරුණු තේරුම් ගනිමින් සිටී. පිලිම නෙලා නැති විරුවන් රටේ සිටි බව ඔවුන් තේරුම් ගෙන ඇත. රටට ආදරය කරන මිනිසුන් පාලකයන් වියයුතු බව වෙන කවරදාටත් වඩා අද ජනතාව තේරුම් ගෙන ඇත.ඊලග රජය පිහිටුවන පක්ෂය දැනටත් තීරණය වී අවසන් ය.. තවදුරටත් තුන්වෙනි බලවේගය හෝ විකල්ප ලෙස පැවතීමට අවැසි නැත. කල යුත්තේ විකල්පයට බලය දීම පමණි.