කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ජව ගැන්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇමතිවරුන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් පසුගියදා ( ජූනි 03)අරලියගහ මන්දිරයේ පැවැත්වුණු අතර එහි මුලසුන දරන ලද්දේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ විසිනි.

එම සාකච්ඡාවේ අරමුණ ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සහ වේගවත්ව ඉදිරියට ගෙනයාම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් දැනුවත් කිරීමය.

කොළඹ නගර සීමාව තුළ එන්නත මඟහැරෙන පුද්ගලයින් සඳහා අලුතින් එන්නත් මධ්‍යස්ථාන පහක් පිහිටුවීමටත් එම මධ්‍යස්ථාන රාත්‍රී 10.00 තෙක් විවෘතව තැබීමටත් නාමල් රාජපක්ෂ ඇමතිවරයා එම හමුවේ දී යෝජනා කර ඇත.

කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමේ දී උද්ගතවූ තත්ත්වයන් පිළිබඳව ඉහත කී සාකච්ඡාවට සහභාගී වූ රාජ්‍ය අමාත්‍යවරුන්ට කරුණු පැහැදිලි කළ නාමල් රාජපක්ෂ ඇමතිවරයා ජුනි 08 වෙනිදා සිට ‘සයිනොෆාම්’ දෙවැනි මාත්‍රාව ලබාදෙන බව සඳහන් කළේ යැයි මාධ්‍ය මගින් වාර්තාකරනු ලැබ තිබුණි.