සංගීත ප්‍රසංග කිහිපයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින යොහානි ද සිල්වා අනතුරකට මුහුණ පා තිබේ.

එම අනතුරින් යොහානිගේ මුහුණේ ඇසට පහළින් වූ කොටස තැලීමකට ලක් වී ඇත.  

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් යොහානි සඳහන් කර ඇත්තේ, තමන් අවසන් වරට කළ ඉදිරිපත් කිරීම අතරතුර වේදිකාවේදී ගිටාරයක හිස කොටසේ තම මුහුණ වැදී මෙම අනතුර සිදු වුණු බවය.

කෙසේ වෙතත්, ඉන් තම මුහුණ තැලීමකට ලක්වුණු බව තමන් නොදැන සිටි බව ඇය පවසයි.

ඇය සඳහන් කරන්නේ, තමන් අනතුරකට මුහුණ දුන්න ද හෙට පැවැත්වීමට නියමිත ප්‍රසංගයට තමන් සහභාගි වන බවය. 

ලොව පුරා ඉමහත් රසික ආකර්ෂණයක් දිනා ගැනීමත් සමග ඉන්දියානු ප්‍රසංග කිහිපයක ගැයුමට ආරාධනා ලද යොහානි පසුගිය සැප්තැම්බර් 29 දින මෙරටින් ඉන්දියාවට පිටත් වූ අතර ඇය සැප්තැම්බර් 30 වන දා සිය ප්‍රථම ඉන්දියානු ගායන ප්‍රසංගය ගුරුග්‍රාම්හි පැවැත්වීය.

එමෙන් ම, හෙට (ඔක්. 3) හයිද්‍රාබාද්හිදී ද ඇය තවත් විශේෂ ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතව ඇත. 

කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ෂිද්දත්’ හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතයේ පසුබිමි ගායිකාව ලෙසින් යොහානි ප්‍රථම වරට බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායනයට ද පසුගිය දා පිවිසුණා ය.