මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තීරණය කර තිබේ.

අදාල කාබනික පොහොර සම්බන්ධයෙන් සිදුකළ දෙවැනි පරීක්ෂණයේදීද ඒවා ප්‍රමිතියෙන් තොර බව තහවුරු වී ඇති බව හෙළි වූ බැවින් මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

එම පොහොර ජීවානුහරණය කර නොමැති බවත්, ශාඛවලට හානිකර ක්ෂුද්‍ර ජීවීන් එහි සිටින බවත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

අදාල පරීක්ෂණයේ ප්‍රතිඵල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම අමාත්‍යංශය වෙත ලබා දීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් අදාල තීන්දුව ගෙන තිබෙනවා.

පසුගිය රජය සමයේ අහිතකර පොහොර විශාල වශයෙන් ආනයනය කර ඇති නමුත් තම රජය එලෙස නොකරන බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ.

කෙසේ නමුත් අමාත්‍යවරයා විසින්ම අදාල පොහොර තොගය පිළිබඳව මින් පෙර සහතිකයක් ලබාදී තිබුණා.

කාබනික පොහොරවලට අදාළ සාම්පලවල තිබී මෙරට බෝග වගාවන්ට අහිතකර ක්ෂුද්‍ර ජීවි වර්ගයක් සොයාගෙන ඇති බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තරගකරුවන් විසි ගණනක් අතුරින් එක් සමාගමක් තෝරාගත් අතර එම චීන සමාගම දැනට ලෝකයේ වැඩිම කාබනික පොහොර නිෂ්පාදනය කරන සමාගම බවත් ප්‍රමිති ආයතනය හඳුන්වා දුන් පරීක්ෂණාගාරයේදී කළ නිරීක්ෂණ අනුව මේ ආනයනය කරන පොහොරවල කිසිදු ක්ෂුද්‍ර ජීවීයෙක් නොමැති බව පැහැදිලිව සඳහන් කර ඇති බවයි.

නමුත් අදාල කාබනික පොහොර තොගයේ සාම්පල් තුළ ක්ෂුද්‍රජීවීන් ඇති බවට අනාවරණය වී ඇති බවත් එය මෙරට කෘෂිකාර්මික හා පාරිසරික ව්‍යවසයකට අතවැනීමක් විය හැකි බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ද මින් පෙර ප්‍රකාශ කර තිබුණා.