මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාලසීමාවකදීම අතුරුදහන් වීම බරපතළ තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී 27/2 යටතේ ප්‍රශ්නයක් නගමින් පැවසීය .

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු අධි සංවේදී දත්ත ගොනු ලක්ෂ 11කට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන්වීම හා එහි සම්පූර්ණ වගකීම් එක් පෞද්ගලික ආයතනයක පරිගණක ක්‍රියාකරුවෙකුගේ අත්වැරැද්දක් බවට ලඝු කිරීම තුළින් රටේ මහජන ආරක්ෂාව ද දැඩි අවදානමකට ලක් කර ඇති බවද ඒ මහතා පැවසීය.

පහත පළවන්නේ පක්ෂ නායක තුමා විසින් අසරණ ලැබූ සම්පූර්ණ ප්‍රශ්නයයි .

ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලැබූ ප්‍රශ්නය.

රට තුළ අලෙවිය සඳහා ඇති ඖෂධීය නිෂ්පාදනවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය සහතික කරමින්, මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාලසීමාවකදීම අතුරුදහන් වීම බරපතල තත්ත්වයක් නිර්මාණය කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු අධි සංවේදී දත්ත ගොනු ලක්ෂ 11කට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන්වීම හා එහි සම්පූර්ණ වගකීම් එක් පෞද්ගලික ආයතනයක පරිගණක ක්‍රියාකරුවෙකුගේ අත්වැරැද්දක් බවට ලඝු කිරීම තුළින් රටේ මහජන ආරක්ෂාව ද දැඩි අවදානමකට ලක් කර ඇත. විවිධ එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දීම, ඖෂධ සඳහා අනුමැතිය ලබා දීම, එන්නත් සහ ඖෂධ ආනයනය සම්බන්ධ විවිධ විවේචන සහ ආන්දෝලනයන් ඇති වූ මෙම කාලවකවානුව තුළම මෙවන් සිදුවීමක් ඇති වීම විශාල සැකයකට තුඩු දෙන කාරණයක් බව පැහැදිලිය. 

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

1.      ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය අතුරුදහන් වීම කුමන්ත්‍රණයක ප්‍රථිපලයක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, මෙය සැලසුම් සහගතව මෙරට ඖෂධ මාෆියාව විසින් සිදු කරන ලද ක්‍රියාකාරීත්වයක් බව රජය පිළිගන්නේ ද? විෂයභාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නේ ද? එසේ නොමැතිනම්,  ඖෂධ නියාමන අධිකාරියේ තොරතුරු පමණක් මෙසේ අතුරුදහන් වීමක් සිදු වූයේ කෙසේද? මෙවන් අවස්ථාවක ICTA උපදේශන සේවා සහ ක්ලවුඩ් පහසුකම් ලබාගත් අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල දත්ත සහ පද්ධති පවතින්නේ ද අනතුරුදායක තත්ත්වයක නොවේ ද? නොඑසේනම්, ඒ සඳහා රජය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? 
 
2.      මේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති ආකාරයට දත්ත මැකී ගොස් තිබෙන්නේ කෙසේ ද? CERT ආයතනය ඒ සම්බන්ධව ලබා දී ඇති වාර්තාව සභාගත කරන්නේ ද? මේ අතර ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ගොස් ඒකපාර්ශවීය ප්‍රකාශ නිකුත් කිරීම පරීක්ෂණ වෙනත් අතකට යොමු කිරීමේ වෑයමක් නොවේ ද? 
 
3.      ICTA ආයතනය ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය ආරක්ෂා කිරීමට ගෙන තිබූ ක්‍රියාමාර්ග මොනවාද? දත්ත පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය, Epic Lanka Technology ආයතනය සමග අත්සන් කළ ගිවිසුමෙහි, දත්ත පද්ධතියේ Backup හා ක්ලවුඩ් ගතකිරීම වෙනුවෙන් නිශ්චිත වගන්ති ඇතුළත් කර ඇත්ද? ඒ්වා ICTA ආයතනයේ උපදේශනය යටතේ ඇතුලත් කළ කොන්දේසි ද? එසේනම්, එම ගිවිසුම හා අදාල වගන්ති සභාගත කරන්නේ ද? ඒවා නිශ්චිතවම ක්‍රියාත්මක කලේ ද යන්න පිළිබඳව ICTA ආයතනය විසින් පසු විපරම් සිදු කලේ ද? නොඑසේ නම්, Disaster Recovery පද්ධතියක් නොමැති ක්ලවුඩයකට දත්ත ක්ලවුඩ් කරන ලෙස හෝ අවම ආරක්ෂණ ක්‍රමවේදයක්වත් අනුගමනය නොකරන Epic Lanka Technology ආයතනයට උපදෙස් ලබා දුන්නේ කුමන පදනමින් ද? 
 
4.      මෙවන් පද්ධති බිඳ වැටීමක දී හෝ දත්ත මැකී යාමක දී ලංකා ආණ්ඩු ක්ලවුඩයේ හෝ ICTA ආයතනය සතුව, දත්ත හෝ පද්ධති නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක් නොමැති ද? ඒ මන්ද? ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය සුරක්ෂිත කිරීමේ උපදේශන ආයතනය ලෙස ක්‍රියා කරනු ලබන ICTA ආයතනය රජය, රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු වූ මෙම කැළලට සෘජුවම වගකිව යුතු නොවේද? රාජ්‍ය ආරක්ෂාව සහ මහජන සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළමින් සිදු වූ මෙම ව්‍යසනයට සාමූහික වගකීමකින් යුතුව මුහුණ දී කඩිනමින් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග නොගෙන ICTA අධ්‍යක්ෂ මණ්ඩලය සියලු වගකීම් පෞද්ගලික ආයතනයක් වෙත පමණක් පවරන්නේ කවර පදනමින් ද?
 
5.      මෙම දත්ත අතුරුදහන් වීම මගින් බාල ඖෂධ හෝ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාදුලේඛන ගත කර තිබූ ‍ඖෂධ වෙළඳපළට නිකුත් කිරීම් මෙන්ම, එකම ඖෂධය විවිධ වෙළඳනාම වලින් ආනයනය කරනු ලබන සමාගම් වලට සිය අභිමතය පරිදි ඉහළ මිළ ගණන් වලට ඖෂධ අලෙවි කිරීමේ ද අවධානමක් පවතින හෙයින් එම තත්ත්වය වළක්වාලීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද?