තුන්වේලක් ආහාර ගන්නා ජනතාවට දෙවේලක් ආහාර ගන්නා ලෙස යෝජනාවක් කිසිවිටෙකත් ආණ්ඩුව හෝ තමන් ඉදිරිපත් නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි. 

“ආණ්ඩුව ආණ්ඩුවෙ මන්ත්‍රීවරුන් ලවා ජනතාවට දෙවේලක් කන්න කියලා ප්‍රකාශයක් කළෙත් නෑ. ආණ්ඩුවත් අපිත් බලන්නෙ ජනතාවට තුන්වේලක් නෙවෙයි පුළුවන් නම් හතර වේලක් කාලා ජීවත් වෙන්න ඕනෙ වටපිටාවක් හදන්න. විශේෂයෙන් මම මගේ ප්‍රකාශය කළේ ඒ අඩු ආදායම් ලබන දුප්පත් අහිංසක ජනතාව මේ නිරෝධායන ඇඳිරි නීතිය තුළ ගොඩක් අපහසුතාවයට පත්වුණා. ඉතිං ආණ්ඩුවට මේ අවස්ථාවෙ 5000ක් දීගන්න අමාරු තත්වයක් තුළ තුන්වේල කන්න බැරි අයට ඒ අපහසුතාවය පිළිබඳ මම කණගාටුව ප්‍රකාශ කරන ගමන් කිසිවිටෙක තුන්වේල කන හෝ ඊට වැඩියෙන් කන අය දෙවේලකට එන්න හෝ එක වේලකට එන්න කියලා යෝජනාවක් කළේ නෑ වගේම එහෙම කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නෑ. අපි කරන්නෙ දෙවේලක් කන අයට තුන්වේලක් කන්න, තුන්වේලක් කන අය ඊට වඩා පෝෂ්‍යදායී තැනකට ගන්න ඒ තැනට රට ගෙනියන්න තමයි අපේ බලාපොරොත්තුව. එනිසා කිසිවිටෙක මගේ ප්‍රාර්ථනාවක් හෝ ඉල්ලීමක් නෑ තුන්වේලක් කන අය අඩුවෙන් කන්න කියලා” 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මේ බව පැවසුවේ පසුගියදා මාධ්‍ය හමුවකදී තමන් කළ ප්‍රකාශයක් පිළිබඳව ඊයේ (13) යළි මාධ්‍ය හමුවක් පවත්වා කරුණු පැහැදිලි කරමිනි.