පෞද්ගලික සමාගම් 5ක් හරහා කිරි එළදෙනුන් 4,200ක් මෙරටට ආනයනය කිරීමේ ව්‍යාපෘතියට කිරි ගොවියන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය කිසිසේත් එකඟ නොමැති බව එම මධ්‍යස්ථානයේ සංවිධායක සුසන්ත කුමාර නවරත්න පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, කිරි එළදෙනුන් ආනයනය කිරීමට සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලයටත් පශු සම්පත් මණ්ඩලයට අයත් මුඩු ඉඩම් අක්කර 2,771ක් බිලියන 8ක ආයෝජනයක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් mawbima.lk වෙබ් අඩවිය කළ විමසීමකදීය.

මෙම ව්‍යාපෘතිය හරහා මෙරට ඉඩම් බහු ජාතික සමාගම් අතට පත් කිරීමේ ක්‍රියාවලියක් සැඟවී ඇති බව නවරත්න අවධාරණයේ කළේය. 

“2012 දීත් අසාර්ථක වුණා…”

2012 වසරේදී ද කිරි එළදෙනුන් 5030ක් මෙරටට ආනයනය කර 2020 වසර වන විට එළදෙනුන් 20,000ක් ආනයනය කිරීමට එවකට පැවති රජය සැලසුම් කර තිබුණු බව සුසන්ත කුමාර නවරත්න මහතා පැවසීය. කෙසේ වෙතත්, එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අසාර්ථක වුණු බව ඔහු පෙන්වා දුන්නේය.

“ප්‍රායෝගික ප්‍රශ්නය ආවේ ඒ හරක්ට වියදම් කරන ප්‍රමාණයට එක පැත්තකින් කිරි ආදායම එන්නේ නෑ. රජය කිව්වා සාමාන්‍යයෙන් කිරි ලීටර් 18-20 ඇවරේජ් යනවා කියලා. දිනකට ගන්න පුළුවන් කිරි ප්‍රමාණය. හැබැයි පහු ගිය කාලේ අත්විඳපු දේ තමා කිරි ලීටර් 8, 9, 10 වගේ තමයි ඇවරේජ් ගියේ. උපරිම 12ට ගියෙත් නෑ. 

එතකොට බලාපොරොත්තු වුණ කිරි ප්‍රමාණය ගන්න වුණේ නෑ එක, ඊළඟට අධික වියදමක් දරන්න වුණා ඒ හරක් නඩත්තු කරන්න. ඒ හරකෙක් නඩත්තු කරලා කිරි ලීටරයක් ගන්නකොට, කිරි ලීටරයකට රුපියල් 63ක් ඒ ගොවියා වියදම් කරන්න ඕනේ. එතකොට නිෂ්පාදන වියදම වැඩියි. ඒ නිසා ඒ ව්‍යාපෘතිය සම්පූර්ණ අසාර්ථකයි.”

“පරණ ව්‍යාපෘතියේ ම දිගුවක්…”

ඔහු අවධාරණය කළේ, එම ව්‍යාපෘතියේ ම දිගුවක් ලෙස මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වන බවය.

එමෙන් ම, මෙම ව්‍යාපෘතිය රට තුළ ඩොලර් හිඟයක් ඇති අවස්ථාවක විශාල මුදලක් වැය කර රට තවත් ණය කරවන සහ ආර්ථික තත්ත්වයෙන් පහළට ඇද දමන ක්‍රියාමාර්ගයක් බව ද ඔහු අවධාරණය කළේය.  

“දැන් මේ යන්නේ ඒකෙ ම දිගුවක්. පැහැදිලිව ම සමහර විට වෙන්නේ ආපහු ඔස්ට්‍රේලියාවෙන් ම තමයි හරක් ගේන්නේ. එතකොට ඒ හරක් ම තමා. මේක අසාර්ථකයි. රටේ භාණ්ඩාගාරයේ ඩොලර් නැති වෙලාවක, ඩොලර් හිඟයක් තියෙන වෙලාවක, විශාල මුදලක් වියදම් කරලා, රට තවත් මේ ණය කරන රට තවත් ආර්ථික පැත්තෙන් පල්ලෙහාට දාන ක්‍රියාමාර්ගයක් මේ ගන්න හදන්නේ. ඒ නිසා මේක එහෙම සිදු වෙනවා නම් අපි දකින්නේ, අපේ රටේ සමස්ත ජනතාවට ම මේකේ පීඩාව අත් වෙනවා.”

යෝජනාවක්…

ඒ හේතුවෙන් මෙම ව්‍යාපෘතියට යොදවන රුපියල් බිලයන 8ක මුදල පිටරටින් කිරි එළදෙනුන් ගෙන්වීමට වැය නොකොට මෙරට කිරි කර්මාන්තය නගා සිටුවීමට වැය කරන්නේ නම් දිනකට ලබා ගන්නා කිරි ලීටර් ප්‍රමාණය අවුරුදු දෙකක් තුළ ඉහළ දැමීමට හැකි වන බව ඔහු පෙන්වා දුන්නේය.

“ඔය බිලියන 8 වියදම් කරලා පිටරටින් සත්තු ගේනවා වෙනුවට, අපේ රටේ කිරි කර්මාන්තයේ නියැළීලා ඉන්නවා ලක්ෂ 4කට වැඩි ගොවි ජනතාවක්. එතකොට මේ ගොවි ජනතාව සත්ත්ව පාලනයේ නියැළිලා ඉන්නේ ඉතාමත් අමාරුකම් මැද්දේ. බරපතළ ගැටලු ප්‍රමාණයක් තියෙනවා අපේ රටේ කිරි කර්මාන්තයේ නියැළිලා ඉන්න ගොවි ජනතාවට. ඔය බිලියන 8 අපේ රටේ කිරි කර්මාන්තය නගා සිටුවන්න වියදම් කෙරුවොත්, උදාහරණයක් හැටියට දැන් කිරි ලීටර ලක්ෂයක් දවසට ගන්නවා නම්, ඒක අවුරුදු දෙකක් ඇතුළත 150,000ක් දක්වා වැඩි කරන්න පුළුවන්.”

සුසන්ත කුමාර නවරත්න මහතා පෙන්වා දුන්නේ, කිරි ලීටර 20ක් පමණ ලබා දෙන කිරි එළදෙනුන් ද මෙරට සිටින බවත් එම ගොවින් දිරිමත් කරන්නේ නම්, මෙරට නිෂ්පාදනය කරන කිරි ප්‍රමාණය අවුරුදු දෙකක් තුළ අවම වශයෙන් 50%කින් වැඩි කිරීමට හැකි බවත් ය.

“ලංකාවට ඔරොත්තු දෙන්නේ නැහැ: අධික වියදමක්…”

මීට පෙර මෙරටට ආනයනය කරන ලද කිරි එළදෙනුන් මෙරට පරිසරයට ඔරොත්තු නොදුන් බවත් එම එළදෙනුන් මිය ගිය බවත් නවරත්න මහතා පැවසීය.

“පරිසරයට ඔරොත්තු දෙන්නේ නෑ. කලින් ගෙනාපු සත්තු මැරුණා නේ. කලින් ගෙනාපු සත්තුන්ට ලෙඩ දෙකක් බෝ වුණා. හිපටිකා (Hepatica) කියලා වෛරසයෙකුයි, බෝවයින් වයිරල් ඩයරියා (Bovine Viral Diarrhoea) කියන වෛරසයයි. අපේ රටේ තිබිච්ච නැති ලෙඩ දෙකක්. අපේ රටේ සත්ත්ව පාලනයට ඒ ලෙඩත් ගෙනැල්ලා දැම්මා. දම්රෝ මෙට්ට දාලා තමයි ඒ සත්තු හදන්න කියලා කිව්වේ. අධික වියදමක් ඒ සතෙක් වෙනුවෙන් ඒ ගොවි ජනතාව කළා.”  

ඔහු පෙන්වා දුන්නේ, ඒ හේතුවෙන් බැංකු ණය ලබා ගෙන මෙලෙස කිරි එළදෙනුන් මිල දී ගත් කිරි ගොවියන්ගේ දේපළ බැංකුවලට පවා සින්න වුණු බවය.

“ඉඩම් නැවත බහු ජාතික සමාගම් වෙත…”

එමෙන් ම, මෙරට ඉඩම් නැවත බහු ජාතික සමාගම් වෙත පවරා දීමේ ක්‍රියාවලිය විවිධ යෝජනා හරහා ක්‍රියාත්මක කිරීමක් මෙම ව්‍යාපෘතිය මගින් සිදුවන බව ද නවරත්න මහතා වැඩිදුරටත් පැවසීය. 

“අපේ රටේ සාමාන්‍ය ගොවියාට හරක් ටික දාගන්න තණ වෙන් කරලා දෙන්නේ නෑ මේ ආණ්ඩුව සමාගම්වලට මුඩුබිම් අක්කර දහස් ගණනින් දෙන්න මේ හදන්නේ. ඒක නිසා මේ තියෙන්නේ ආපහු අපේ රටේ ඉඩම් ටික බහු ජාතික සමාගම් අතට පවරන ක්‍රියාවලිය විවිධ යෝජනා හරහා ක්‍රියාත්මක කරන්න හදනවා.”