මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේදී එන්නත් ලබාදිය යුතු දිස්ත්‍රික්කය තීරණය කරනුයේ එන්නත් ලබාදෙන රටවල්වලින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා පවසනවා.

ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20-29 ත් අතර තරුණ ප්‍රජාවට එන්නත් ලබාදීම විවේචනය කළද එය සිදුවන්නේ එන්නත් ලබාදෙන රටවල තීරණයක් අනුව බවයි.

ඔහු සඳහන් කරන්නේ විදෙස් අධ්‍යාපනය සඳහා පිටත්ව යන්නේ මෙම වයස් කාණ්ඩයේ තරුණ ප්‍රජාව බැවින් ඔවුන්ට ලබාදෙන මෙම එන්නත්කරණ වැඩසටහන කඩිනම් කළ යුතු බවයි.

කොළඹ දිස්ත්‍රික්කය යනු වැඩිම Z අගය පවතින දිස්ත්‍රික්කය බැවින් කොළඹ දිස්ත්‍රික්කය විශේෂිත කර ගනිමින් අදාළ එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා ඉල්ලා සිටිනවා.