පෞද්ගලික සමාගම් 5කට කිරි එළදෙනුන් 4,200ක් ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

අද (සැප්. 7) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම කිරි එළදෙනුන් ආනයනය කර ජාතික කිරි නිෂ්පාදනයට දායක කිරීමට බලාපොරොත්තු වන බවය.

එමෙන් ම, ජනතා වතු සංවර්ධන මණ්ඩලයටත් පශු සම්පත් මණ්ඩලයටත් අයිති දැනට වගා නොකරන මුඩු ඉඩම් වශයෙන් පවතින අක්කර 2,771ක් බිලියන 8ක ආයෝජනයක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද අමාත්‍යවරයා පැවසීය.

“අපේ රටේ ජාතික කිරි අවශ්‍යතාව ලීටර් මිලියන 722ක්. හැබැයි අපි ආනයනය කරන්නේ ලීටර් මිලියන 422ක්. ඒ කියන්නේ 40%යි. එතකොට අපි 60%ක් කිරිපිටි ආනයනය කරනවා. අපි දවසකට ඇ.ඩො. මිලියන 1ක කිරිපිටි ආනයනය කරනවා. අපි අවුරුද්දකට ඇ.ඩො. මිලියන 365 කිරිපිටි ආනයනය කරනවා. 

ඒ නිසා අපි අපේ රටේ නිෂ්පාදනය කළ හැකි සියල්ල නිෂ්පාදනය කිරිමේ වැඩපිළිවෙළ 2025 වෙනකොට කරගෙන යනවා. එයින් එකක් හැටියට තමයි අපි දැනට ආනයනය කරන කිරිපිටි වෙනුවට මේ රටේ නිෂ්පාදනය කිරීම සඳහා ඒ පෞද්ගලික සමාගම්වලට මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. අපි දැනට ජනතා වතු සංවර්ධන මණ්ඩලයටත් ඒ වගේ ම පශු සම්පත් අමාත්‍යංශයටත් අයිති ඒ මුඩු ඉඩම් හඳුනාගෙන තමයි මේ ඉඩම් ලබා දීලා තියෙන්නේ. මේ ආකාරයේ ඉඩම් ලබා දීමට මූලික හේතුව තමයි සමාන්‍යයෙන් සතුන් 10,000ක් තියෙන ගවගාලකට අවශ්‍යයි ටොන් 45ක් තණකොළ එක දවසකට සත්තුන්ට දෙන්න. මෙතෙක් කල් අපේ කිරි නිෂ්පාදනය අඩු වෙන්න මූලික හේතුව තමයි සතුන්ට අවශ්‍ය කෑම නැහැ. ඒ නිසා සතුන් ආනයනය කරනවා වගේ ම සතුන්ට අවශ්‍ය ආහාර සකස් කර ගන්න තමයි රජය විසින් මේ ඉඩම් ලබා දුන්නේ.”

ඒ අනුව, 2024 වන විට රට දියර කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.

“මේ සඳහා විදේශ ආයෝජකයෙක් ඉන්නවා, දේශීය ආයෝජකයින් හතර දෙනෙකු ඉන්නවා. මේ සියලු දෙනා එක්කහු වෙලා බලාපොරොත්තු වෙනවා මේ සතුන් 4800 ආනයනය කරලා මේක අවුරුදු 5ක් ඇතුළත මේ සතුන් ප්‍රමාණය 25,000 දක්වා වැඩි කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ සදහා අනුමැතිය ලබා දුන්නා.”