වී සහ සහල් සඳහා පනවා ඇති පාලන මිලට එරෙහි විරෝධතා ඇතැම් පුද්ගලයින්ගේ මෙහෙයවීම මත සිදුකෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

වී සඳහා උද්ඝෝෂණ සිදුකරන්නෙත් හාල් මාෆියාව ඇත්තෙත් පොළොන්නරුවේ පමණක් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මේ වෙනකොට ගොවීන් වී සම්බන්ධයෙන් උද්ඝෝෂණ පවත්වනවා. මේ සියලු උද්ඝෝෂණ පවත්වන්නේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ පමණයි. ඒ වගේම මේ රටේ හාල් මාෆියාව තියෙන්නෙත් පොළොන්නරුවේ විතරයි. ඒ නිසා මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න ගොවීන් පමණක් උපයෝගි කරගනිමින් උද්ඝෝෂණ පවත්වනවා. මේ සඳහා මුදල් දෙන්නේ කවුද කියලා අපි දන්නවා. ගොවීන් ට මිලක් එන එක ගැන අපිට කිසි ගැටලුවක් නෑ. අපි කියලා තියෙන්නේ වී සඳහා පාලන මිල පමණයි. එතනින් එහාට වී මිල දී ගැනීම පිළිබඳ අපිට ප්‍රශ්නයක් නෑ.”