කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් හා සිමෙන්ති මිල ගණන් අනිවාර්යයෙන් ම වැඩි කිරීමට සිදුවන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, ලෝක වෙළෙඳ පොළේ මිල වැඩිවීම අනුව අදාළ භාණ්ඩවල මිල ඉහළ දැමීමට සිදුවන බවය.

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නව Q-shop අලෙවි සලෙහි මෙහෙයුම් කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අද (21) ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“අනිවාර්යයෙන් ම ප්‍රායෝගිකව ලෝක වෙළෙඳ පොළේ මිල වැඩි වීම අනුව යම් කිසි ආකාරයකට වැඩි වීමකට යන්න සිදු වෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි මේ සුමානේ තීරණයක් ගන්නවා. විශේෂයෙන්ම සහල්, පිටි, කිරිපිටි, ගෑස් , සිමෙන්ති පිළිබඳව අපි මේ සුමානේ අපි අවසාන තීරණයක් ගන්නවා.”

මේ අතර, පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පසුගිය දා ප්‍රකාශ කළේ, විෂය භාර අමාත්‍යවරුන් දෙදෙනා දැනුවත්ව තමන්ට මරණ තර්ජන එල්ල වන බවය. 

ඔවුන් විදෙස් සමාගම් සමග ඇති කර ගැනීමට නියමිත ගිවිසුමක් හරහා මෙරට ජනතාවට අවාසිසහගත තත්ත්වයක් ඇති වන බව ද ඔහු පැවසීය.