ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතිය ඇමතීම සදහා අලුතින් ඉදිකල නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානය ලෙස ඊයේ (26) මාධ්‍ය මගින් ප්‍රචාරය කල ස්ථානය ආකෘතියක් (Dummy) බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසනවා.

ඔහු එලෙස සදහන් කර ඇත්තේ මේ වන විටත් ආන්දෝලනයට තුඩුදී තිබෙන බොහෝ අඩුපාඩුකම් සහිත නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානය පිළිබද එල්ලවන විවේචනවලට පිළිතුරු දෙමින්.

කිංස්ලි රත්නායක මහතා සදහන් කරන්නේ විදේශයක සිට ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති මාධ්‍ය අංශයේ වැරදි අඩුපාඩු සොයන පුද්ගලයෙක් ඉලක්ක කරගෙන මෙම ආකෘතිය ඔහුට අතුරුපසක් ලෙස නිර්මාණය කළ බවයි.

එහි නිවැරදි පසුතලය එළැඹෙන 29 වනදා විවෘත කිරීමේ උත්සවයේදී දැකගත හැකි බවද ඔහු සදහන් කරනවා.

කෙසේ වෙතත් ඊයේ (27) දිනයේ මෙම නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානය පිළිබදව දෙරණ රූපවාහිනිය ඔස්සේ විනාඩි දෙකක පමණ ගුවන් කාලයක් යොදාගෙන ප්‍රචාරය කළ අතර එහිදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතාද අදහස් පලකළා.

නමුත් එහි කිසිදු අවස්ථාවක රූපවාහිනි ප්‍රවෘත්ති ප්‍රකාශයක් මගින් ප්‍රචාරයද ලබාදෙන මෙම ස්ථානය මේ වන විට පවතින්නේ ආකෘතියක් (Dummy) බව කිංස්ලි රත්නායක මහතා සදහන් කරන්නේ නැහැ.

අනෙක් අතට තව දින දෙකකින් විවෘත කිරීමට තිබෙන ස්ථානයක තවමත් පවතින්නේ ආකෘතියක් බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීම පුදුම සහගත කරුණක්.

එමෙන්ම විදෙස්ගතව සිට විවේචනය කරන පුද්ගලයෙකුට අතුරුපස සැපයීම සඳහා ජනතා බදු මුදල් වියදම් කරමින් ආකෘති සෑදීම ජනතා බදු මුදල් නාස්ති කිරීමක් ලෙස ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා නොදැකීමද විස්මිත වනවා.

කිංස්ලි රත්නායක මහතා මෙරට ජනතාවගේ දැඩි ආදරයක් දිනාගත් ජනමාධ්‍යවේදියෙකු ලෙස කලක් කටයුතු කළා.

කෙසේ වෙතත් ඔහු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුර භාරගත් දිනයේ පටන් සිදුකරන ලද ක්‍රියාවන් පිළිබදව අවස්ථා රැසකදී සමාජයෙන් දැඩිලෙස විවේචන එල්ල වුණා.

පහතින් දැන්වෙන්නේ නාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පිළිතුරු ලබාදී ඇති ආකාරයයි.

ගොරවනීය නිලයක් දරණ ඔහු දී ඇති ඇතැම් පිළිතුරු ඔහුගේ තනතුරට තරම් නොවන ආකාරයද දක්නට ලැබීම විශේෂත්වයක්..