පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ, රළපනාවේ ගල් සමතලා කර ඇවිදින මං තීරුවක් සකස් කිරීමට ගෙන ඇති පියවර හේතුවෙන් මේ වන විට වැවට සිදුව ඇති හානිය සලකා බැලීමේදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණ ගත් සියල්ලන්ට ”අප බෞද්ධයන් වුවත් ජාතිය ම එක්ව ශාප කළ යුතු බව” හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.

මෙම ඇවිදන මං තීරුව සකස් කිරීම හේතුවෙන් වැවට සිදුව ඇති හානිය නිරීක්ෂණය කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු අවධාරණය කළේ, මෙම තීරණය ගැනීමට යෝජනා කළ දේශපාලනඥයා සොයා ජනතාවට දැනුවත් කළ යුතු බවත් වැවේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවත්ය.

“වැවට කරන මේ හානිය සම්බන්ධයෙන් ඇත්තට ම මේ තීරණය ගත්ත අයට ජාතිය ම එකතුවෙලා ශාප කිරීම පළමුවෙන් ම කරන්න වෙනවා අපි බෞද්ධයෝ වුණත්. හෙට දවසේ වර්ෂාවක් වැස්සොත් එහෙම මේ ඔක්කොම පස් ආපහු වැවට සෝදගෙන යනවා. ඒ නිසා මේ වැවේ ආරක්ෂාව ගැන දැඩි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි. මේ තීරණය ගන්න යෝජනාව ගෙනාපු දේශපාලකයා හොයලා අනිවාර්යයෙන් ජනතාව දැනුවත් කරන්න අවශ්‍යවෙනවා.”

එම ස්ථානය නිරීක්ෂණය කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මින් පෙර මෙම වැව් බැම්ම දැඩි ලෙස ආරක්ෂා කර තිබූ බවත් ඇවිදින මං තීරුව සැකසීමට ගෙන ඇති පියවර හේතුවෙන් නිවැරදි කළ නොහැකි තරමට වැව් බැම්මට හානි සිදුව ඇති බවත්ය.

“වාහනයක් නතර කිරීමට පවා පහුගිය කාලේ තහනම් කරලා තිබුණා. මොක ද ඒකෙනුත් යම් කිසි damage එකක් වැවට වෙයි කියලා. එතකොට එහෙම තියෙන බැම්මකට අද කොන්ක්‍රීට් වලවල් හාරලා මේ මංපෙතක් දාන්න සැලසුම් කරනවා. මේකෙ ඉංජිනේරුවා කතා කරපු විදියට මට ⁣තේරුණා මැණිකක් තියෙනවා නං වාහනේ පිටිපස්සට යයි කියලා මැණික වාහනේ රෝදයේ අඩයට තියන ජාතියේ මිනිස්සු. නිවැරදි කිරීම මේ වන විට කරන්න බැරි තරමට මේ වැව් බැම්මට මේ වන විට damage කරලා ඉවරයි.”