එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන අද අභයාරාම විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී දැක්වු අදහස්;

මේ රටේ වායු බලාගාර ඉදිකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ රජය සමයේ ඉන්දියාව, ජපානය සහ චීනය යන රටවල් සමග ඇතිකරගත් ගිවිසුම් සම්බන්ධව වත්මන් රජයේ ස්ථාවරය කුමක්දැයි එජාප සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රශ්ණ කරයි. එම ගිවිසුම් වහාම ක්‍රියාත්මකකර වායු බලාගාර ඉදිකිරීමට පියවර ගතයුතු බව ඔහු පැවසුවේය.

මේ ගැන වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු,

ප්‍රශ්නය :
රටේ පවතින ටෙන්ඩර් පටිපාටියට බැහැරව යමින් ඇමරිකානු සමාගමකට LNG විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය ලබාදීමට වත්මන් රජය ක්‍රියාකරන බවට විදුලි ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති චෝදනා කරනවා. මෙය ඔබතුමා දකින්නේ කොහොමද?

පිළිතුර :
1977 දී අපට රජය බාර දෙනවිට විදුලිය මෙගා වොට් 430 ක් තිබුණා. නමුත් අපි නැවත බාර දුන්නේ විදුලිය මෙගා වොට් 2800 ක් දක්වා වර්ධනය කරලා. ඒ කියන්නේ වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය, ඉඟිනිමිටය වැනි ජලවිදුලි බලාගාර මෙන්ම ඩීසල් විදුලිබලාගාර ඉදි කරලා තමයි බාර දුන්නේ.
මේ රටේ වැදගත්ම දේ පාරිභෝගිකයා. එතකොට පාරිභෝගික ජනතාවට මේ විදුලිය අඩුවට ලබා දීම සඳහා තමයි එක්සත් ජාතික පක්ෂ පාලන කාලය තුළ යම් යම් පියවරවල්ගනු ලැබුවේ.
ලෝකයේ කිසිම රටක නැති ආකාරයේ ඉතාම ඉහළ විදුලි මිලක් තිබෙන රටක් තමයි ශ්‍රී ලංකාව. දැන් මේ විදුලි බල පද්ධතිය රටේ විදුලි පාරිභෝගික ජනතාවට යහපත් පරිදි හැසිරවිය යුතුව තිබෙනවා. එතකොට යම් කිසි විදියකට මේ බලාගාර සම්බන්ධයෙන් ඇමරිකාව, ඉන්දියාව, ජපානය හෝ චීනය වෙන්න පුලුවන්. කාත් එක්ක හරි කමක් නෑ මේ ලැබෙන මුදල් ශ්‍රී ලංකාවේ කුමක් සඳහාද අයෝජනය කරන්නේ. මහජන සුබ සිද්ධිය සඳහාද? විදුලි පාරිභෝගිකයාගේ යහපත සඳහාද කියලා රටට හෙළි කළ යුතුව තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය කොහොමත් දරපු මතය තමයි මේ රටේ විදුලි පාරිභෝගික ජනතාව ආරක්ෂා කළ යුතුයි යන පදනම. ඒක කරන්න නම් එංගලන්තයේ වගේ ලෝකයේ ලාබ ලබන විදුලි බලාගාර සහ විදුලිය සැපයීම කරන රටවල් ආදර්ශයට ගන්න පුලුවන්. ඒ අනුව ශ්‍රී ලාංකික විදුලි පාරිභෝගික ජනතාව ආරක්ෂා වන පරිදි ක්‍රියා කළ යුතුයි. යම්කිසි වෙනත් ඔබ අහපු ප්‍රශන්යට අනුව යම් කිසි දෝෂ තිබෙනවා නම් ඒවා සම්බන්යෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර වෙනස් කරගන්න පුලුවන්කම තිබෙනවා.

ප්‍රශ්නය :
මෙම විදුලි ව්‍යාපෘතියට අදාළ ගිවිසුම ඇමරිකානු සමාගම සමග ශ්‍රී ලංකා රජය අලුයම 12 ට අත්සන් කල එකක් බවත් එය කැබිනට් ඇමතිවරු පවා නොදැන සිටි බවටත් මතයක් පැතිර යමින් තිබෙනවා. එය එහෙම වෙන්න පුලුවන්ද?

පිළිතුර :
මම එහෙම විශ්වාස කරන්නෙ නැහැ. මේ කබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයේ සියලු දෙනා දකින්න ඇතිනේ. මැජික් එකක් වෙන්න බැහැනේ. මේ කැබිනට් පත්‍රිකාව සැප්තැම්බර් මාසේ 09 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබුණා. එතකොට මේක සියළු කැබිනට් ඇමතිවරු දකින්න ඇති. එතකොට මේක එහෙම කියන්න බෑ. ඒක මම පිළිගන්නෙ නැහැ.