කෘෂි රසායන ගෙන්වීම තහනම් කරමින් ආණ්ඩුව පනවා තිබූ ගැසට් නිවේදනය කැබිනට් මණ්ඩලය හරහා රිවස් කරමින් කෘෂි රසායන ගෙන්වීමට එක් සමාගමකට අවසර ලබාදීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි.

ආණ්ඩුව යළිත් වරක් ගජ මිතුරන්ට සැලකීමට උත්සාහ ගනිමින් සිටින්නේ දැයි ප්‍රශ්න කරන බව ද මන්ත්‍රීවරයා ඊයේ (අගෝස්තු 25) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. කෘෂි රසායන ආනයනය කරන සමාගම් 29ක් අතරින් එක් සමාගමකට පමණක් රුපියල් බිලියන 10ක් වටිනා රසායන ගෙන්වීමට අවසර දී තිබෙන බවත් මන්ත්‍රීවරයා කීය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ කීය. 

“ආණ්ඩුව යළිත් වරක් ගැසට් රිවස් කරමින් ගජමිතුරෙක්ට සලකන්න හදනවා. මොන ම හේතුවක් නිසාවත් රසායනික පොහොර තහනම ඉවත් කරන්නේ නෑ කිව්වා. රසායනික පොහොර බින්දුවක් ගේන්න දෙන්නේ නෑ කියලා ජනාධිපතිවරයා කිව්වා. ජනාධිපති ප්‍රකාශකවරු නැවත නැවත කිව්වා. ඇමතිවරු පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒත් රසායනික පළිබෝධ 114කින් 35ක් ගෙන්වීමට පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරලා තියෙනවා. මේකට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නා ද?  දිලීරනාශක සහ කෘමිනාශක ගෙන්වීමට තමයි අවසර ලබාදී තියෙන්නේ. වල්නාශක ගෙන්වීමට අවසර ලබාදී නැහැ. අපි මෙම ලේඛන මාධ්‍යයට ලබාදෙනවා. 

ලෝකයේ පළමු කාබනික රට ලංකාව කියලා ජනාධිපතිවරයා කිව්වා. අනික් ගැසට් රිවස් කළා වගේ සද්ද නැතිව මේ ගැසට් එකත් රිවස් කරන්න හදන්නේ ගොවි ජනතාව රැවටීමට ද? ලෝකය රැවටීමට ද? නයි ධාතු පෙන්නුවා වගේ, මුට්ටි ගඟට දැම්මා වගේ, ජනතාවට රවටන්න ද හදන්නේ. ලෝකයේ එක ම කාබනික රට ලංකාව කියලා කියන්න හදපු ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හරහා ගැසට් එක රිවස් කරන්න ද හදන්නේ කියලා ප්‍රශ්න කරනවා.”