ඊයේ (සැප්.27) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයන කිරීමට ගත් තීරණය කැමැත්තෙන් ගත් තීරණයක් නොවන බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රෙස්න පවසයි.

අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් පසු රටේ ගොවියා ශක්තිමත් කිරීම සඳහා සහල් ආනයනය කිරීම නැවත් වූ බවය. 

“ජනාධිපතිතුමා, ජනාධිපතිවරයා හැටියට පත් වුණාට පස්සේ හුඟාක් අවස්ථාවල සහල් පිටරටින් ගේනන අවශ්‍යතාවය තිබුණත් එතුමා සහල් ගේන එක් නැවැත්තුවා. ජනාධිපතිතුමා සත්භාවයෙන් ගොවියා ශක්තිමත් කරන්න තමයි සහල් ගෙන්වීම නැවැත්තුවේ. අන්තිමට අපි ආණ්ඩුව ගන්න කොට වී කිලෝ එකක්  රු. 32ට සහතික මිල හැටියට තිබ්බේ. අපි 52ක් කරා. අපි රු. 20 කින් වැඩි කරා. අපි වී ටික ගන්නකොට වී අලෙවි මණ්ඩලයෙන් මේක අපිට දුන්නේ නැහැ. වෙළෙන්දො වැඩි මිලට ගත්තා. අපි ඒක නරකයි කියලා කියන්නේ නැහැ, ගොවියාට වැඩි මිලක් යන එක. පස්සේ අපි 55 කරා. 

රජයක් හැටියට අපට වගකීමක් තියෙනවා ගොවියා ආරක්ෂා කරන්න ඕන, ව්‍යාපාරිකයා ආරක්ෂා කරන්න ඕන, පාරිභෝගිකයා ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා. නමුත් ගොවියා සහ මෝල්හිමියන් අතර සමතුලිත තත්ත්වයක් ඇති කරන්න බැරි වුණා. දැන් පෝලිම් පෙන්නවා. සහල්වලට පෝලිම්වල ඉන්න අවශ්‍ය නැහැ. මේක පහසුවෙන් කරන්න තිබුණු දෙයක්. අපි ප්‍රතිපත්තියක් හැටියට රැකගෙන පුළුවන් තරම් කල් රැක ගෙන හිටියා. බැරි ම තැන තමයි මේ කටයුත්ත කරන්න තීන්දු කරේ. යම්කිසි විදියකට හංඟලා තියෙන වී ටික හාල් ටික එළියට දැම්මොත් අපිට මේ හාල් ගේන එක අඩු කරන්න පුළුවන්.” 

මේ අතර, සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් නිකුත් කර තිබූ ගැසට් පත්‍රය ඉවත් කර ගැනීමට රජය කටයුතු කළේ, පාරිභෝගිකයා සහ ගොවියා ආරක්ෂා කිරීමට බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, කොළඹ වරායේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 800කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කිරීම සඳහා ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රජය විසින් ඩොලර් මිලියන 50ක මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇති බවය.