රට තවමත් කොවිඩ්-19 අවදානම් තත්ත්වයෙන් මිදී නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය පිළිබඳව මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, රට තවමත් ඇත්තේ රතු කලාපයේ බවය.

ඒ හේතුවෙන්, රජය සහ ජනතාව ඒ පිළිබඳව වැඩි අවධානය යොමු කර යළි කොවිඩ් රැල්ලක් ඇති වීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බව ඇය අවධාරණය කළාය. 

“අපි තාමත් රටක් විදියට මේ අවදානම් තත්ත්වයෙන් එළියට ගිහිල්ලා නැහැ. අපි දැනටත් 2,000කට වඩා රෝගීන් ප්‍රමාණයක් දිනකට හඳුනා ගන්නවා. සමාජයේ අඩු ම ගාණේ 6,000කට වඩාවත් රෝගීන් ඉන්නවා. 150කට වඩා මරණ සංඛ්‍යාවක් දිනකට අපේ රටේ සිද්ධ වෙනවා. 

රට අවදානම් තත්ත්වයෙන් බේරී ඇති බවට අපිට කොහෙත් ම කියන්න විදියක් නැහැ. තවමත් ඉන්නේ රට රතු කලාපයේ. ඒක නිසයි වැදගත් වෙන්නේ රටක් විදියට ජනතාව, රජය මේ ගැන වැඩියෙන් අවධානය යොමු කරලා සියලු ම පියවර ගැනීම යළි රැල්ලක් එන එක වළක්වා ගන්න.”