කිතුනු දේවස්ථාන ඉල්ලක්ක කරගනිමින් නැවත වතාවක් යම්කිසි ප්‍රහාරයක් සිදුවිය හැකි බවට තොරතුරක් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බෝපිටිය සාන්ත නිකුලා දේවස්ථානය අද උදෑසන දැනුවත් කර තිබෙනවා.

මීසම් සේවක පියතුමන් මීසම් ගෘහයේ නොමැති අවස්ථාවක බෝපිටිය සාන්ත නිකුලා දේවස්ථානයට මෙම දැනුවත් කිරීම සිදුකර ඇති අතර ඒ අවට අනෙකුත් දේවස්ථානද දැනුවත් කිරීමට කටයුතු කරන බව එහි පැමිණි නිලධාරීන් පවසා තිබෙනවා.

එහිදී දේවස්ථාන වලට ඇතුළු වන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසටද, පූජාප්‍රසාදීන් වහන්සේලා භාවිතා කරන ඇඳුමට සමාන ඇඳුම් වලින් සැරසී ඇතැම් පුද්ගලයින් ඇතුළු වියහැකි බවටද අනතුරු අඟවා ඇති බව වාර්තා වනවා.

නමුත් මෙම පණිවුඩය දැනගත් පියතුමන් අවට දේවස්ථාන වලින් හා අගරදගුරු නිල නිවසෙන් මේ පිළිබඳව විමසා ඇති අතර එවැනි දැනුවත් කිරීමක් ඔවුන්ට ලැබී තිබුනේ නැති බවට අවට දේවස්ථාන සහ අගරදගුරු මැදුරේ සහයක රදගුරු අති උතුම් J.D ඇන්තනී හිමිපාණන් විසින් පියතුමන්ව දැනුවත් කර තිබෙනවා.