ආහාර සුරක්ෂිතතාවය සහ මිල පාලනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය පවසයි.
ඇය පෙන්වා දී ඇත්තේ, මේ හරහා සිවිල් කටයුතුවලදී ද හමුදාවේ කාර්ය භාරය තවදුරටත් පුළුල් කිරීමේ තත්ත්වයක් උද්ගත විය හැකි බවය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය අමතමින් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මේ බව ප්‍රකාශ කළාය.
“වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා පාලන අභියෝග මගින් පෙන්නුම් කරනුයේ, මිලිටරිකරණය සහ වගවීමක් නොමැතිකම හරහා මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්රජාතන්ත්රවාදී ආයතන, සමාජ සමගිය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි අඛණ්ඩව බලපෑම් ඇති වන බව,” යනුවෙන් ඇය පවසා තිබේ.
එහිදී මහ කොමසාරිස්වරිය පැවසුවේ, සාමකාමී විරෝධතා හා සැමරුම්වල නිරත වන පුද්ගලයින් අයුතු බලය යොදවා අත්අඩංගුවට ගැනීම සහ නිරෝධායන මධ්‍යස්ථාන තුළ බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම ශ්‍රී ලංකාව තුළ සිදු වී ඇති බවය.
2011 වසරේදී දේශපාලනඥයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මෑතකදී ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම තුළින් නීතියේ සහ අධිකරණ ක්‍රියාවලියේ අධිපත්‍යය කෙරෙහි පවතින විශ්වාසය පළුදු වීමේ අවදානමක් පවතින බව ද ඇය පැවසීය.
සංකේතාත්මක මානව හිමිකම් නඩු ගණනාවක අධිකරණ ක්‍රියාවලීන්ගේ වර්ධනයන් ගැන සැලකිලිමත් වූ බවත්, 2008 සහ 2009 වකවානුවේ සිසුන් 11 දෙනෙකු බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි නඩුව ඉදිරියට ගෙන නොයාමට නීතිපතිවරයා ගත් තීරණය ද ඊට ඇතුළත් බවත් මහ කොමසාරිස්වරිය පැවසීය.
ඊට අමතරව 2019 පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් සිදු කරන අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ද ඇය අදහස් පළ කළාය.
නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම පිළිබදවද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය මෙහිදී අවධානය යොමු කළාය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්රයෙහි වර්ධනයන් කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙසත්, සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ඉදිරියට ගෙන යාමේදී විශ්වසනීය ප්‍රගතියක් ලබා ගන්නා ලෙසත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයින් දිරිමත් කරන බව ද ඇය වැඩිදුරටත් පැවසීය.