මේ වනවිටත් රට පුරා මගඩි රැසක් ක්‍රියාත්මක වන අතර, එක් පැත්තකින් දත්ත මැකීමේ මගඩිය,තව පැත්තකින් ඇන්ටිජන් මගඩිය ,තවත් පැත්තකින් ඖෂධ ජාවාරම ජයටම සිදුවෙන බවත්  මේ සියලු ව්‍යසන මැද ජනතාව අති මහත් පීඩනයකින් දුක් විඳින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .

අල්ලසට දූෂණයට මගඩියට උපරිම ඉඩ  සලසන ආණ්ඩුවක් රටේ ක්‍රියාත්මක වන අතර  විපක්ෂය හැටියට සමගි ජන බලවේගය ආණ්ඩුවක් විසින් කළ යුතු ජනතාවාදී කටයුතු සිදුකරමින් සිටින බව ද ඒ මහතා පැවසීය. 

ජනතාවට සේවය කිරීම ආණ්ඩුවේ වගකීම වුවත් ආණ්ඩුව සේවය කරමින් සිටින්නේ ගජ මිතුරන් වෙනුවෙන් බව පැවසූ විපක්ෂ නායකතුමා,ඔවුන්ට දිය යුතු සියලු පහසුකම් ආණ්ඩුව  ලබාදෙන බවද පැවසීය.

විපක්ෂ නායක තුමා මේ බව පැවසුවේ “විපක්ෂයෙන් හුස්මක්”25වන අදියර යටතේ කෑගල්ල ශික්ෂණ රෝහලට  රුපියල් තිස්ලක්ෂ අනූදහසක  (රු.3,090,000.00)  වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක් වෙමිනි.අදාල පරිත්‍යාගය සිදු කරනු ලැබුවේ අද(09) විපක්ෂ නායක කාර්යාලයේ දී ය .

මේ ව්‍යසනකාරී මොහොතේත් සංවර්ධන කටයුතු  අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කරමින් මහජන ධනය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරන අතර සැබැවින්ම ජනතාව කෙරෙහි ආදරයක් ඇත්නම් ආණ්ඩුව කළ යුත්තේ  මන්ත්‍රීවරු පෝෂණය කරමින් ඔවුන්ව සංවර්ධනය කිරීම නොව ,ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම බවද පැවසීය.ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සියලු වරදාන වරප්‍රසාද ලබා දීමට ආණ්ඩුව කටයුතු කළත්  ජනතාව වෙනුවෙන් කිසිවක් ලබා දීමට ආණ්ඩුව  සූදානම් නැති බව පැවසූ ඒ මහතා මේ සියලු දේ සිදුවන්නේ මහජනතාවගේ බදු මුදලින් බව ආණ්ඩුව තේරුම් ගත යුතු යැයි ද පැවසීය .

රෝහල් උපකරණ ලබාදීමේ ” විපක්ෂයේ හුස්මක්” වැඩසටහන මේ දක්වා වට 24 ක් පුරා දියත් වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ හරහා ලක්ෂ හත්සිය හතළිහකට වැඩි රෝහල් උපකරණ ලබාදී ඇතැයිද පැවසීය.

මේ ජනතාවාදී වැඩපිළිවෙළ ඉදිරියටත් නොනවත්වා කන්ඩ පවත්වාගෙන යන බවද ඒ මහතා පැවසීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන මුලුමහත් ශ්‍රී ලංකාවම බලවත් පීඩාවකට පත්ව සිටින අවස්ථාවේ අපේම ජනතාව වෙනුවෙන් ප්‍රායෝගිකවම කිසියම් මෙහෙවරක් කළ යුතුයැයි යන විශ්වාස පෙරදැරිව  සමගි ජන බලවේගය විසින් “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ආරම්භ කළ අතර ඊට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  විසින් දියත් කරනු ලබන  ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 25 වන පියවර ලෙස රුපියල් තිස්ලක්ෂ අනූදහසක  (රු.3,090,000.00)  වටිනා රෝහල් උපකරණ කෑගල්ල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වයි.ජේ. සමරසිංහ මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය. ඒ අනුව,

01.රුපියල් ලක්ෂ පහක් (රු500,000.00) වටිනා Multipara Monitors (Edan) උපකරණ  02ක් 

රුපියල් දොළොස් ලක්ෂ හතලිස්දහසක් (රු.1,240,000.00)වටිනාOpti flow nasal therapy උපකරණයක් සහ රුපියල් දහතුන් ලක්ෂ පනස්දහසක් වටිනා  (රු.1,350,000.00)Opti flow nasal therapy (Donations for Australia Melban Art Circle)උපකරණයක් මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා,  දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කරන අතර මේ දක්වා වට 24 ක් තුළ රුපියල් ලක්ෂ හත්සිය දහනවයක (රු. 71,904,000)රෝහල් උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.