සැප්තැම්බර් 21 වනදා, නිව්යෝර්ක්හී දී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එක් වෙන බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාව මෙය බවද ජනපති මාධ්‍ය අංශය පවසයි.

සිය සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

විදේශ අමාත්‍ය මහාචර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපති සමග සංචාරයට එක් වෙති.

තම පෞද්ගලික ප්‍රතිපත්තිය සහ ර‍‍ටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සංචාරය සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මෑත ඉතිහාසයේ මෙරටින් සහභාගීවන අඩුම දූත පිරිස මෙය වන අතර, අයෝමා රාජපක්ෂ මහත්මිය සිය පෞද්ගලික වියදමින් සංචාරයට එක් වෙයි.