කොළඹ නගරයේ තවත් වටිනා ඉඩම් 03ක් 99 අවුරුදු බදු පදනම මත ආයෝජන ව්‍යාපෘති සඳහා ලබා දීමට (19) පුවත්පත්වල දැන්වීම් පළ කර තිබුණි.

දැන්වීම පළ කර ඇත්තේ, නාගරික සංවර්ධන අධිකාරිය විසිනි.

මිශ්‍ර සංවර්ධන ව්‍යපෘති සඳහා කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉඩම් 03ක් ලබාදීමට මේ මගින් ටෙන්ඩර් කැඳවා ඇත.

එම නිවේදනයට අනුව කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ නො.12 ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය, නො.38 දරණ අංකයේ පිහිටි මහජන බැංකු රැජිණ ශාඛාව පිහිටි ස්ථානය හා නො.40 දරණ සතොස ගබඩා සංකීර්ණය මේ ව්‍යාපෘති සඳහා ලබාදීමට යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය පිහිටි භූමියේ පදනම් වටිනාකම රුපියල් බිලියන 3.7 කි.

මහජන බැංකු ශාඛාව පිහිටි ඉඩම පදනම් වටිනාකම රුපියල් බිලියන 1.3 ක් හා සතොස ගබඩා සංකීර්ණය පිහිටි ඉඩමේ පදනම් වටිනාකම රුපියල් බිලියන 1.6 ක් ලෙස අදාළ දැන්වීමේ සඳහන් කර තිබේ.

මෙම ඉඩම්වල ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී ඇත්තේ, මාසයක පමණ කාලයක් වීම විශේෂත්වයකි.

මේ අතර දැනටමත් සෙලෙන්දිව ආයෝජන ව්‍යාපෘති හරහා ද විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල, හිල්ටන් හා ග්‍රැන්ඩ් ඔරියන්ට් හෝටලය ඇතුළු කොළඹ නගරයේ වටිනා දේපොළ ගණනාවක්ම ආයෝජන ව්‍යපෘති සඳහා ලබාදීමට යෝජනා ඉදිරිපත් වී තිබේ.