විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරුවන්වී සිර දඩුවම් ලබා සිටින සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී දින කිහිපයක් තිස්සේ උද්ඝෝෂණයක නිරත වන අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද දින (2021.09.23) පෙරවරුවේ සහභාගී විය.

මෙහිදී  අමාත්‍යවරයා උපවාසයේ යෙදී සිටින සිරකරුවන් සමඟ සුහඳ සාකච්ඡාවක නිරත විය. එහිදී සිරකරුවන්ගේ පාර්ශවය වෙනුවෙන් සිරකරුවන්ට මේ වන විට පවතින ගැටලු පිළිබඳව අදහස් දැක්වූ අතර එම සිරකරුවන් විශේෂයෙන්ම සඳහන් කලේ අභියාචනාවන් ඉදිරිපත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව, යහපත් කල්ක්‍රියාවෙන් යුතුව සිරදඩුවම් විඳින සිරකරුවන් සඳහා දඬුවම් අඩුකරගැනීම, පුනරුත්ථාපන ක්‍රමවේදය නිසිලෙස ක්‍රියාත්මක කිරීම සහ පොදු සමාව ලබාදීමේදී සියළුම සිරකරුවන් සඳහා එකම ක්‍රමවේදයක් ඇති කිරීම සහ සිරකරුවන් පිළිබඳව සහ ඔවුගේ පවුල් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ක්‍රමවේදයක් සකසාදීම ආදී සිරකරුවන්ට බලපාන කරුණූ කිහිපයක් පිළිබඳවය.

සිරකරුවන්ගේ ගැටළු හා ප්‍රශ්ණ වලට සවන් දුන් අමාත්‍යවරයා සඳහන් කලේ දිගින් දිගටම වැරදි සිදුකරන මිනිසුන් මෙන්ම ජීවිතයේ එක් වතාවක් වැරදි කරන පුද්ගලයින්ද සිටින අතර එම වැරදි නිවැරදි කර ගැනීමට එක් අවස්ථාවක් සලසා දියයුතු බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ජනාධිපතිතුමාගේ උපදෙස් මත මෙම ගැටලු සඳහා ලබාදිය යුතු විසඳුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි. එ් සඳහා අවශ්‍ය කටයුතු සලසා දීමට අද දින සිටම ක්‍රියාත්මක වන බවත් එසේ අවශ්‍ය කටයුතු සලසා දෙන තෙක් මෙම උපවාසය අත්හැරීමට කටයුතු කරන ලෙසත්ය.   

බන්ධනාගාර පනත අනුව අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව යහපත් කල් ක්‍රියාවෙන් සිරදඩුවම් විඳින සිරකරුවන් සඳහා එක් සතියකට නිවාඩු ලබාදීමේ හැකියාවක් පවතින අතර එම නීතිය ක්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා සඳහන් කලේ සිරකරුවන්ද මනුෂ්‍යයන්ය යන්න සිරමැදුරු වල තාප්ප වලට පමණක් සීමා නොකර එය ක්‍රියාවෙන්ම ඔප්පු කල යුතුය යන්නයි.