”එන්නත් නිසි කලට නොගෙන ඒම හේතුවෙන් අවුරුදු 60ට වැඩි ජනතාව මිය යාම, රට හයිබ්‍රිඩ් ක්‍රමයට වසා තිබීම වැනි දේ සිදු කර රට තුළ තවදුරටත් කොරෝනා ව්‍යාප්ත වීම ආදිය සිදු වූයේ ජනාධිපතිවරයාගේ උද්දච්චකම ⁣නිසා” යැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්‍ත්‍රී මනූෂ නානායක්කාර චෝදනා කරයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳව අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ, සීනි මිල ඇතුළු අනෙ⁣⁣කුත් පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යාම, ⁣රසායන පොහොර තහනම හේතුවෙන් අස්වනු අඩුවීමත් හේතුවෙන් ඉදිරියේදී ජනතාව හාමතේ මිය යා හැකි බවත්ය.

“ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ උද්දච්චකම නිසා කලට වෙලාවට එන්නත් ගෙනාවේ නැති නිසා අද වෙනකොට 60ට වැඩි මිනිස්සු වැඩි හරිය මැරෙන්නේ එන්නත නැති නිසා. ඔබේ උද්දච්චකම නිසා. අද ඔබේ උද්දච්චකම නිසා රට වහන්නේ නැතිව ඉඳලා රට වැහුවත් හයිබ්‍රිඩ් ක්‍රමයට රට වහගෙන ඉඳලා රෝගය තවදුරටත් ව්‍යාප්ත වෙන්නේ ඔබගේ උද්දච්චකම නිසා. පොහොර තහනම ක්‍රියාත්මක කරලා පොහොර ගෙන්වන්නේ නැහැ කියලා දැඩි තීරණයක ඉඳලා නැතිවෙන්නේ ගොවියාගේ ආර්ථිකය. නැතිවෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ටයි කන්න බොන්න නැතිවෙන්නේ තව මාස තුන හතරක් යන කොට.”

පවතින වසංගත තත්ත්වයසහ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක හිඟය සහ මිල ඉහළ යාම් හේතුවෙන් ඉදිරියේ ජනතාව හාමතේ මිය යාමට ඉඩ නොතියා අදාළ ගැසට් පත්‍ර යළි වෙනස් කොට හෝ ජනතාවගේ ජීවත වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

“ඒ නිසා ගරු ජනාධිපතිතුමනි, ඉතාමත් ම ඕනෑකමින් ඉල්ලනවා. අපි ඔබතුමා ෆේල් නොකියා ඉන්නම්. අපි ඔබතුමාට ගැසට් රිවර්ස් කළා කියලා මුකුත් නොකියා ඉන්නම්. කරුණාකරලා ලංකාවේ මිනිස්සුන්ට ඕනෑ කරන පොහොර ටික ගෙන්වන්න ඕනෑ කරන ඒ ගැසට් එක නැවත වතාවක් රිවර්ස් කරලා හරි ලංකාවේ මිනිසුන්ට ඕනෑ පොහොර ටික ආපහු දෙන්න. අත්‍යවශ්‍ය කාරණා ටික හරි ගෙනැවිත් දෙන්න. පහුගිය දවස්වල කැබිනට් එකට දැම්මානේ පළිබෝධ නාශක ප්‍රමාණයක් ගේන්න කියලා. ඒ දාලා විපක්ෂයේ අපි කෑගහන නිසා ඒක පොඩ්ඩක් යට තියාගෙන ඉන්නවානේ.”

රසායන පොහොර තහනම සම්බන්ධ ගැසට් පත්‍රය වෙනස් කොට හෝ ජනතාවට අවශ්‍ය පොහොර ලබාදී අස්වනු වැඩි කර ගැනීමට අවශ්‍ය කටයුතු සැලසිය යුතු නමුත් එසේ කළ යුත්තේ ගජ මිතුරු එක් ව්‍යාපාරිකයෙකුට පමණක් ලාභ හිමිකර දෙන නොවන ලෙසත් යැයි ඔහු අවධාරණය කළේය.

“අපි කෑගැහුවා කියලා කමක් නැහැ. අපි කෑ නොගහා ඉන්නම්. ඒ ගොවීන්ට ඕනෑ කරන කෘෂි රසායන, වල් නාශක ටික ගෙනැවිත් දෙන්න. මිනිසුන්ව බඩගින්නේ මැරෙන්න දෙන්නේ නැතිව. 9000 ගාණක් කොරෝනාවෙන්  ජීවිත අහිමි වුණා. බඩගින්නෙත් මිනිසුන්ට මැරෙන්න තියන්න  එපා. විපක්ෂය විදියට අපි ඒකට ඉඩදෙන්න සූදානම් නෑ. ඒ නිසා ඔබතුමාගේ උද්දච්චකම පැත්තක තියාලා ගැසට් රිවර්ස් කරලා හරි ගොවියාට ඕනෑ දේවල් ගෙනත් දෙන්න. අපි මුකුත් කියන්නේ නෑ. හැබැයි එක ව්‍යාපාරිකයෙකුට විතරක් පොහොර ටික ගෙන්නන්න දීලා තවත් මාෆියාවක්, ගජ මිතුරෙකුට සැලකීමක් බවට පත් කරන්න එපා කියලත් අපි ඔබතුමාට මතක් කරනවා.”