ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතරින් 55%ක් කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට කිසිදු අධ්‍යාපනික අවස්ථාවක් නොලබා සම්පූර්ණයෙන්ම අධ්‍යයන කටයුතු වලින් බැහැරව සිටින බව “අධ්‍යාපන සංසදය” විසින් සිදුකල සමීක්ෂණයකදී හෙළිදරව් වී තිබේ.

එම සමීක්ෂණයට අනුව ඉතිරි 45% න් 5%ක් පමණක් සූම් වැනි තාක්ෂණික ක්‍රමවේදය හරහා සැබෑ පන්ති කාමරයක අත්දැකීම ලබාගන්නා අතර 40% පමණ පිරිසකට මාර්ගගත(Online) අධ්‍යාපනය වශයෙන් හිමිවී ඇත්තේ වට්සැප් වැනි මාධ්‍යයන් හරහා ගුරුවරුන් විසින් එවනු ලබන කෙටි පණිවිඩ සහ PDF බව අනාවරණය වී තිබේ.

ඩිජිටල් සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෑතකදී නිකුත් වූ විදේශ මාලා නාටකයක් වන Money Haist මාර්ගගත(Online) ක්‍රමවේදය ඔස්සේ නරඹන ආකාරය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළකර තිබූ ආකාරය

ග්‍රාමීය වශයෙන් සැලකීමේදී මෙම තත්වය වඩා දරුණු මුහුණුවරක් ගෙන ඇති අතර ස්මාර්ට් ජංගම දුරකතන හෝ පරිඝනක, නිසි අන්තර්ජාල පහසුකම් සහ අවශේෂ පහසුකම් නොමැති වීම නිසා සමාජයේ දිළිදුම පවුල්වල දරුවන් සම්පූර්ණයෙන්ම අධ්‍යාපනයෙන් ඉවත්වී ඇත.

නුදුරේදී පාසල් ආරම්භ කලද, ඔවුන්ට දිනපතා මුඛ ආවරණ, විෂබීජනාශක දියර ආදී දෑ ලබා දීමට නොහැකි නිසා සිය දරුවන් පාසල වෙත එවීමට නොහැකි බවට බොහෝ දෙමාපියන් මැසිවිලි නගන බවද අනාවරණය වී තිබේ.

ආචාර්ය සුජාතා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු පර්යේෂකයින් කණ්ඩායමක් විසින් මෙම සමීක්ෂණය දියත්කර ඇත.