විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ යුරෝපා කොමිසමේ දූත පිරිසක් අතර විශේෂ හමුවක් ඊයේ (28) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.

පසුගිය ආණ්ඩු සමයේ මෙරටට දිනාගත හැකිවූ GSP ප්ලස් සහනය දීර්ඝ කරනවාද නැද්ද යන්න පිලිබදව කරුණු අධ්‍යනය සදහා අදාල දූත පිරිස මෙරටට පැමිණ සිටින අතර ඒ අතරතුර එම පිරිස විපක්ෂ නායකතුමා හමුවිය.

රටේ වත්මන් තත්ත්වය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම්, නිදහස සහ සමානාත්මතාවය, සංහිඳියාව, පරිසරය, මාධ්‍ය නිදහස, සිවිල් අයිතිවාසිකම් යනාදි බොහෝ කාරණා පිළිබඳව ඔවුන් මෙරට දී අධ්‍යයනය කරන අතර අදාල හමුවේදි විපක්ෂ නායකතුමා අවධාරණය කළේ GSP ප්ලස් සහනය අපේ රටට විශාල ශක්තියක් බවත්, එය අඛණ්ඩව අපේ රටට ලබා දීම සඳහා අවශ්‍යකරන සහයෝගය ලබා ලබාදෙන ලෙසත්ය. එමෙන්ම යුරෝපා කොමිසම ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍යමය සහන, GSP Plus සහන, අන්තර්ජාතික සහන සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පල කරන බවත් විපක්ෂ නායකතුමා එහිදී පැවසීය.

කොරෝනා ව්‍යසනය සහ වර්තමානයේ මුහුණ දෙන ගැටළු පිළිබඳව එහිදී දෙපාර්ශවය අතර දිර්ඝලෙස සාකච්ඡාවට ගැණුනු අතර ශ්‍රිලංකාව ඉදිරියට ගෙනයෑම උදෙසා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකතුමා අදාල නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය.
තම පක්ෂයේ විදෙස් පිළිවෙත වන්නේ නොබැඳුණු විදේශ ප්‍රතිපත්තිය බවත්, ශ්‍රී ලංකාව සාමයේ භූමියක් මිස බලවතුන්ගේ අරගල බිමක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යුරෝපා කොමිසමේ නියෝජිතයින් සමඟ පැවසීය.
මේ මොහොතේ වගකිවයුතු නූතන විපක්ෂයක කාර්යභාරය ඉටුකිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය නොපිරිහෙලා පෙනී සිටින බවත් විපක්ෂනායකතුමා පැවසීය.

හරිත සංකල්පය මත පදනම් වුණු අනාගතවාදී දේශපාලන පක්ෂයක් ලෙස සමඟි ජනබලවේගය ආර්ථික මෙන්ම සමාජ සැලසුම් සහ ප්‍රතිපත්ති සකස් කරමින් පවතින බව පැවසූ විපක්ෂ නායකතුමා රට මුහුණ දී සිටින වර්තමාන තත්ත්වය හමුවේ අවස්ථාවාදී දේශපාලනය නොකරන නූතනවාදී විපක්ෂයක භූමිකාව තම කඳවුර නිරූපණය කරන බවද පැවසීය.

එමෙන්ම, ජනතාවාදී විපක්ෂයක් ලෙස තමන්ට පැවරී ඇති වගකීම කොන්දේසි විරහිතව ඉටුකරන බවත්,මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම,ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැදිහත්වීම, මාධ්‍ය නිදහස වෙනුවෙන් අරගලය,නීතියේ ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කිරීම තිරසාරව සිදුකරමින් සිටින බව පැවසු විපක්ෂ නායකතුමා ජනතාවාදී සාධනීය කටයුතු වෙනුවෙන් සිය සහයෝගය හිමිවන බවද පැවසීය.
මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, මහජනතාව සඳහා ප්‍රජාතාන්ත්‍රික අවකාශයන් පුළුල් කර දීම, ව්‍යවස්ථාදායකය/අධිකරණය සහ විධායකයේ බලය බෙදීයාම, සමතුලිත කිරීම වැනි කරුණු පිළිබඳව මෙහිදී යුරෝපා කොමිසමේ නියෝජිතයින් අවධානය යොමුකරනු ලැබූ අතර විපක්ෂ නායකතුමා එහිදී පවසා සිටියේ ඉහත කාරණා සාධනීය ලෙස සාර්ථක කර ගැනීම උදෙසා ආණ්ඩුවේ අවධානය යොමු කිරීමට මැදිහත්වීම වැදගත් බවය.