ස්වයං ප්‍රතිශක්තිකරණය උදෙසා කංසා නීතිගත කරන්නැයි ශ්‍රී ලංකා සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ලේකම් තුසිත බාලසූරිය රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
ලෝකය පුරා ම ස්වයං ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමට කංසා භාවිත කරද්දී ආයුර්වේද ඖෂධයක් මෙන් ම දේශීය ඖෂධයක් වන කංසා භාවිත කිරීමට මෙරට පුරවැසියන්ට අවසර නොමැති වීම කනගාටුවට කරුණක් බව සඳහන් කරන බාලසූරිය මහතා පෞද්ගලිකව හා පක්ෂයක් ලෙසත් වැඩිහිටියන්ගේ භාවිතය සඳහා නියාමනයක් සහිතව කංසා නීතිගත කරන ලෙසට රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටී.
එය රටේ ජනතාවගේ සුවතාවය උදෙසා මෙන් ම, දේශීය වෙදකම නගාසිටුවීම උදෙසා ද ගන්නා වැදගත් හා විප්ලවීය තීන්දුවක් බව ද ඔහු සඳහන් කරයි.
දේශීය විදේශීය පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි කොරෝනා රෝගයේ මාරාන්තික තත්ත්වය වන කොවිඩ් නිව්මෝනියා තත්ත්වය යනු එහි උච්ච අවස්ථාව බවත්, එම තත්ත්වය පාලනය කිරීමට කංසා යොදාගත හැකි බව පර්යේෂණ ගණනාවක් ඔස්සේ දැනටමත් තහවුරු කරගෙන ඇතැයි පෙන්වා දෙන ශ්‍රී ලංකා සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ලේකම්වරයා, ප්‍රතිශක්තිකරණ වර්ධන ඖෂධයක් ලෙස කංසා භාවිත කිරීමට හැකි බව ඉන්දියාවේ ආයුර්වේද පර්යේෂකයන් මීට මාස කිහිපයකට පෙර වාර්තා කර තිබූ බවත් ඉන්දියාවේ වෛද්‍යවරුන් පෙන්වා දෙන පරිදි කංසාවල අඩංගු කැනබිඩියෝල් නම් රසායනික සංයුතිය මගින් ඉන්ෆ්ලුවන්සා වෛරස තත්ත්වයන් නිව්මෝනියාව දක්වා වර්ධනය වීම වළක්වන බවත් කංසා මල්වලින් හා කංසා කොලවලින් ලබාගන්නා කංසා තෙල්වල අඩංගු කැනබිඩියෝල් රසායනය මෙන් ම සෙසු රසායනයන් ද කොරෝනා මර්දනයට වැදගත් බව ඔවුන් පෙන්වා දෙන බවත් සඳහන් කරයි.
කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යන අතරතුර එක්සත් ජාතීන්ගේ සංවිධානය කංසා අන්තරාදායක මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පසුගිය වසරේ තීන්දුවක් ගත් බව ද ස්වයං ප්‍රතිශක්තිකරණය උදෙසා කංසා භාවිත කිරීමට බටහිර රටවල් පියවර ගන්නා ලද අතර ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්තවල කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගන්නා අයට නොමිලේ කංසා සුරුට්ටු බෙදාදෙන ලද බව ද බාලසූරිය මහතා පෙන්වා දෙයි.