මහින්ද රාජපක්ෂ මහතා මෙවර අග්‍රාමාත්‍ය ධුරයට පත්ව වසරක් පිරීම වෙනුවෙන් ඉන්දු – ශ්‍රී ලංකා ආශිර්වාද පූජාවක් පැවැත්විය.

මෙහිදී කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත් ජනතාවට ආශිර්වාද කිරීම ද විශේෂත්වයකි.

අද උදෑසන ඉන්දියාවේ සාරානාත් මූලගන්ධ කුටි විහාරස්ථානයේ පැවති මෙම ශ්‍රී ලංකා ඉන්දියා ආශිර්වාද පූජා වැඩසටහනට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ වුණේ, අරලියගහ මන්දිරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේය.

ආශිර්වාද පූජාව සංවිධානය කළේ, ඉන්දියානු මහා බෝධි සංගමයේ ප්‍රධානත්වයෙන් ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එක්වයි.

ඉන්දියානු මහා බෝධි සංගමයේ සාරානාත් ලුම්බිණි කල්කටා, ලක්නව් සහ බුද්ධගයා විහාරස්ථානවල සිට මහා සංඝරත්නය මෙම ආශිර්වා ද පූජාවට එක්විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු දෙරටේ මහ කොමසාරිස් කාර්යාල ප්‍රධානීන් ද එක්විය.

මේ අතර අද පෙරවරුවේ තිරුමාලා තිරුපති දේවස්ථානයේදී ද මෙවැනිම විශේෂ පූජාවක් පැවැත් විය.