රුහුණු විශ්ව විද්‍යාල කෘෂි ජීව විද්‍යා පීඨයේ කෘෂි ජීව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නාලිකා රණතුංග මහත්මිය පවසන්නේ, මෙමචීන පොහොර සාම්පලය මෙරටට එවා ඇත්තේ, කිසිදු ශාඛ රෝගී ව්‍යාධිජනයන් පිළිබඳ කිසිදු පරීක්ෂණයකින් තොරව බවයි.

මේ අතර බැක්ටීරියාවලට අමතරව, වෛරස, විවිධ රෝග කාරක, වෙනත් ජීවීන් ද පැමිණිමේ හැකියාව ඇති බවත් එකී සියලු දේවලින් මේ තොගය නිදහස් කියන එකට කිසිදු සාක්ෂිකයක් හෝ පිළිගැනීමක් ඇති කිරීමට නොහැකි බව ද මහාචාර්යවරිය සඳහන් කළා ය.

”කිසිදු ශාඛ රෝගී ව්‍යාධිජනයන් පිළිබඳ කිසිදු පරීක්ෂණයක් නැතුව තමයි මේ සාම්පලය එවලා තියෙන්නේ. අපිට මේකෙන් කිසිම තහවුරුවක් ගන්න බැහැ කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඒවා බලපෑම ගැන. මානව රෝගී ඇති කරන බැක්ටීරියා වර්ග දෙකකට පමණයි පරීක්ෂණය කරලා තියෙන්නේ. එතකොට මේ බැක්ටීරියාවලට අමතරව වෛරස එන්න පුළුවන්. විවිධ රෝග කාරක වෙනත් ජීවීන් එන්න පුළුවන්. ඒ සියලු දේවලින් මේ තොගය නිදහස් කියන එකට කිසිම සාක්ෂිකයක් හෝ පිළිගැනීමක් ඇති කරන්න බැහැ”

චීන සමාගම මෙරටට සැපයීමට සූදානම් වන්නේ මුහුදු පැළෑටි මගින් නිපදවූ කාබනික පොහොරයි.

මහාචාර්ය නාලිකා රණතුංග මහත්මිය පෙන්වා දෙන්නේ මෙම පොහොර සාම්පලය තුළ කාබනික නොවන ද්‍රව්‍ය ද අඩංගු විය හැකි බවට සැකයක් මතුවන බවයි.

 ”දැන් අපිට ගෙන්වන්න යන්නේ ග්‍රැනයුලර් ෆර්ටිලයිසර් කැට සහිත මේවා පරීක්ෂා කර බලද්දී මෙහි තියනවා සීවීඩ් එක්ට්‍රැක්, එහෙම නැත්නම් මුහුදු පැළෑටි නිස්සාරක 10% යි අඩංගු වෙන්නේ. නමුත් ටෝටල් නයිට්‍රජන් බලද්දී ඊට වැඩියි, 15% – ක් 16% ක් විශාල වශයෙන් ටෝටල් නයිට්‍රජන් තියෙනවා. එතකොට විශාල සැකයක් මතුවනවා මෙයට යූරියා වැනි අකාබනික දේවල් එකතු කරල ද. එහෙම නැත්නම් නාගරික අපද්‍රව්‍ය වැනි වෙනත් නයිට්‍රජන් ප්‍රභවයක් මෙයට ඇතුළත් කරල ද කියන එක ගැන ගැටලුවක් ඇති වෙනවා”