මේ වන විට ශ්‍රී ලංකාව විසින් ආනයන සඳහා පනවා ඇති සීමා ලබන වසරේදීත් අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට රජය තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

යෝජිත 2022 අයවැය තුළින් පෞද්ගලික අංශයේ ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාවය දෙමින් දේශීය නිෂ්පාදනය වැඩි දියුණු කිරීමේ අරමුණින් ලබන වසර සඳහා ආනයන සීමා කිරීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු සඳහන් කළ බව එම පුවත්පත පවසයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ පළමු අය වැය නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත අතර එහි තේමාව ලෙස “නිෂ්පාදන ආර්ථිකය” යොදාගෙන තිබේ.

කෘෂිකාර්මික, මාර්ග සංවර්ධන, වාරිමාර්ග සහ පුනර්ජනනීය බලශක්ති අංශ කෙරෙහි වැඩි අවධානයක් මෙම අයවැයෙන් යොමුකර තිබේ. එම අමාත්‍යාංශ වෙනුවෙන් විශාල මුදලක් වෙන්කර ඇති බවද වාර්තා වෙයි.

ලබන වසර පුරාවටම වාහන ආනයනය ඇතුළුව ආනයනය සීමා කිරීමට යෝජිත නමුත්  විදුලි කාර් ආනයනය දිරිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. රාජ්‍ය අංශයේ අතිරේක වියදම් සීමා කෙරේ.

ඉඩම් සංවර්ධනය සඳහා විශාල විදේශ ණය ලබා නොගැනීම සහතික කිරීම සඳහා විශාල ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශය දිරිමත් කිරීමට නියමිතය. ඒ අනුව ඉඩම් ව්‍යාපෘති සඳහා වන ආයෝඡන සඳහා ඉදිරි අයවැයෙන් වැඩි දිරි දීමනා ලැබීමට නියමිතය.

වැඩි අවධානයක් යොමු කළ යුතු තවත් අංශයක් නම් අඛණ්ඩව වසර තුනක් පසුබෑමකින් පසු පුනර්ජීවනයක් අපේක්ෂා කරන සංචාරක අංශයයි. වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන පහ දක්වා ඉහළ නැංවීමේ අරමුණින් හෝටල් ක්ෂේත්‍රයට දිරි දීමනා පිරිනැමේ. අපනයන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් සිදුකරන මාළු ආනයන ව්‍යාපෘති සඳහා දිරි දීමනා පිරිනැමේ.

ජීවනෝපාය සංවර්ධනය නමින් ව්‍යාපෘතියක් යටතේ සෑම දිස්ත්‍රික්කයකම අතිරික්ත කෘෂිකාර්මික නිෂ්පාදන ගබඩා කිරීම සඳහා ගබඩා පිහිටුවීමේ යෝජනාවක් හඳුන්වා දෙනු ඇත. මෙම ව්‍යාපෘති සඳහා ආයෝඡනය කිරීමට පෞද්ගලික අංශය දිරිමත් කරනු ඇත.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුවට විසඳුමක් ලෙස අදියර වශයෙන් වැටුප් වැඩි කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන බව නිලධාරීහු පැවසූහ.