කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට රජය ගත් තීරණය වහා හකුලාගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

අද පැවති මාධ්‍ය හමුවකදී විමුක්ති පෙරමුණු ප්‍රචාරක ලේකම් විජිත හේරත් කියා සිටියේ, මධ්‍යම රාත්‍රී 12.06ට විදුලි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමට පවරා දී ඇත්තේ, කුප්‍රකට රහස් ගිවිසුමක් හරහා බවයි. ‍

තව ද අමෙරිකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලංකාවේ බලශක්තිය මුළුමනින්ම අක්‍රිය කිරීමේ හැකියාව පවතින බව ද ප්‍රචාරක ලේකම්වරයා සඳහන් කළේ ය.

”ඇමරිකා එක්සත් ජනපදයට ඕනම අවස්ථාවකදී පුළුවන්කම ලැබනෙවා. ස්විච් එක ඕෆ් කරපු ගමන් ලංකාවේ බලශක්තිය මුළුමනින්ම අක්‍රිය කරන්න. ඉතින් එක පැත්තකින් මේක අපේ රටේ ජතික ආරක්ෂාව පරදුවට තැබීමක් අනෙක් පැත්තෙන් අපේ බලශක්තිය වෙනත් අමෙරිකානු අධිරාජ්‍ය වාදයකට පැවරීමක්”

ඒ අනුව ජනතාවගේ ස්වෛරීත්වයට එරෙහි ක්‍රියාමාර්ගයක් වන මෙම ගිවිසුම වහා හකුළා ගෙන රටේ බලශක්ති අයිතිය ජනතාවගේ පරම වූ ශුද්ධ වූ අයිතියක් ලෙස තබා ගැනීමට ක්‍රියා කරන්නැයි, ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටී.