දින වකවානු කිව නොහැකි වුවත් අනිවාර්යයෙන්ම ආර්ථිකය ගොඩ ගන්නා බව අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

අජිත් නිවාඩ් කබ්රාල් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඒ බව සඳහන් කළේ ය.

එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සහ කබ්රාල් මහතා ඊට ලබා දුන් පිළිතුරු මෙසේයි.

මාධ්‍යවේදී ප්‍රශ්නය : – මහ බැංකු අධිපති ධූරය ලැබීමත් එක්ක කොහොමද ඉදිරි වැඩපිළිවෙළ සකස් කෙරෙන්නේ? ඒ කියන්නේ ජනතාවට සහන එහෙම ලබාදෙන්න එහෙම කියලා තියෙනවද කොහොමද?

අජිත් නිවාඩ් කබ්රාල් : – මහ බැංකුවේ තියෙන මූලික පරමාර්ථය සහ ප්‍රධාන කාර්යභාරය තමයි රටේ ආර්ථික ස්ථායි භාවය රැක ගැනීම, ඒත් එක්කම ඒ ස්ථායි භාවය රැක ගන්න ගමන්ම මූල්‍ය පද්ධතියේ ස්ථායි භාවය රැකගැනීම , එ්වා තමයි මූලික පරමාර්ථ.

මාධ්‍යවේදී ප්‍රශ්නය : – සිකුරාදා බිලියන විසිනවයක් මුදල් අච්චු ගහලා තියෙනවා. මහ බැංකුවේ මේ වගේ මුදල් අච්චු ගැහුවම ආර්ථිකයට ලොකු හානියක් වෙනවා නේද? මොකටද මේ මුදල් අච්චු ගහල තියෙන්නෙ මේ වෙලාවේ ?

අජිත් නිවාඩ් කබ්රාල් : – මේවා සියලු දේවල් පිළිබඳ අධ්‍යයනයක් කරලා අවශ්‍ය තීරණ ගන්නට මම සූදානම්. විවිධ අභියෝග තියෙනවා ඒක අපි තේරුම්ගන්නට අවශ්‍යයයි. එ් අභියෝගත් එක්ක ඒවට විසඳුම් තියෙනවා. ඒ විසඳුම් ගන්නට අපි ලෑස්තියි.

මාධ්‍යවේදී ප්‍රශ්නය : – කලකිරීමෙන් ද යන්නේ? කොහොමද දැන් පාර්ලිමේන්තු දිවියට සමු දීලා කොහොමද යන ගමන ?

අජිත් නිවාඩ් කබ්රාල් : – අපිට ජීවිතයෙනුත් සමුගන්න දවසක් තියෙනවනේ. එහෙම නම්, මේ තනතුරුවලින් සමුගන්න එක එච්චර ලොකු වැඩක් නෙවෙයි.

මාධ්‍යවේදී ප්‍රශ්නය : – හිටපු මහබැංකු අධිපතිවරයා කලකිරීමෙන් යන්නේ ?

අජිත් නිවාඩ් කබ්රාල් : – මහ බැංකුවේ පීඩනයක් තියෙනවා. ඒක තේරුම් ගන්නට ඕනේ. මහ බැංකුව කියලා කියන්නේ සාමාන්‍යයෙන් ජොබ් එකක් නෙමෙයි. එ් වැඩ කටයුතු කරද්දී සෑහෙන පීඩන එනවාමයි .

මාධ්‍යවේදී ප්‍රශ්නය : – දැන් සම්මත කර ගන්නවා ද විශ්‍රාම වැටුප ?

අජිත් නිවාඩ් කබ්රාල් : – මම අස් වෙලා ගියාට පස්සේ අවුරුදු හතරකට පස්සේ මේ ලොකු ආන්දෝලනයක් තියෙන්නෙ මගේ විශ්‍රාම වැටුප ගැන. මම තවම විශ්‍රාම ගිහිල්ලා නැහැ .එ හින්ද මට විශ්‍රාම දෙන්න අවශ්‍යතාවයක් නැහැ . විශ්‍රාම දෙන කාලයකට දීපු දෙන්. මම දැනට විශ්‍රාම ගිහිල්ලා නැහැ නේ, විශ්‍රාම ගිහිල්ලා වගේ පේනව ද නැහැනේ ..

මාධ්‍යවේදී ප්‍රශ්නය : – ඒ කියන්නේ කැබිනට් අමාත්‍යවරුන්ගේ බලතලත් එක්ක ඔබතුමාට නව තනතුර පැවරෙනවයි කියල කියනවා ඒක ඇත්තක්ද ?

අජිත් නිවාඩ් කබ්රාල් : – බොහෝ රටවල මහ බැංකුවේ අධිපති ධූරය තියෙන්නෙ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක්ට සමාන අනතුරක. චීනයේ එහෙමයි, සිංගප්පූරුවේ එහෙමයි. ඉතින් එවැනි අවස්ථාවකදී මේ අමාරු අවස්ථාවක, මේ වැඩ කටයුතු කරද්දී ජාත්‍යන්තරයත් එක්ක කටයුතු කරද්දී එවැනි පිළිගැනීමක් රටේ තියෙනවයි කියන එක තියෙනකොට එ් සාකච්ඡාවලට යන එක පහසුයි . ඉතින් එවැනි තත්වයක් තත්ත්වයක් ජනාධිපතිතුමා උදා කරලා දේවි.

මාධ්‍යවේදී ප්‍රශ්නය : – ඔබතුමාගේ සැලස්මක් තියෙනවද මේ වැඩිපුර ණය ගන්න එක අඩු කරන්න හෝ යම්කිසි ක්‍රමවේදයක් ?

අජිත් නිවාඩ් කබ්රාල් : – අපි ණයවලින් පමණක් රටක් දුවන්න බැහැ. අපිට අවශ්‍යයයි ණය නොවන තවත් විදේශ විනිමය ගලා එන්නටත් අපි අවස්ථාව ලබා දීමට අවශ්‍යයි. ඉතිං ඒවා අපි කරන්නට බලාපොරොත්තු වෙනවා .

මාධ්‍යවේදී ප්‍රශ්නය : – මේ ආර්ථිකය ගොඩ ගන්න ඔබතුමාට කොච්චර කල් යයිද ?

අජිත් නිවාඩ් කබ්රාල් : – අනිවාර්යයෙන්ම ගොඩ ගන්නවා

මාධ්‍යවේදී ප්‍රශ්නය : – කොච්චර කල් යයිද?

අජිත් නිවාඩ් කබ්රාල් : – ඒව ඉතින් දින වකවානු කියන්න බැහැනේ හරියටම

මේ අතර සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත් කළ බව අද පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

මුදල් හා ප්‍රග්ධන වෙළඳපොල සහ රාජ්‍ය ව්‍යසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ, අද පෙරවරුවේයි.

මේ අතර අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස් විමෙන් පුරප්පාඩු වු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතක ලැයිස්තු මන්ත්‍රිධුරය සඳහා ජයන්ත කැටගොඩ මහතා පත් කරන ලෙස එම පක්ෂය මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දි තිබේ.

ඒ අනුව ඉදිරියේදි ජයන්ත කැටගොඩ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

මීට සති දෙකක පමණ සිට පෙර මහබැංකු අධිපති ධූරය පිළිබඳව දේශපාලන වේදිකාවේ සාකච්ඡාවට බඳුන් විය.

මේ අතර මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂමන් මහතා පසුගිය 10 වනදා සූම් තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ, සිත් රිදවන සිදුවීම් තමන්ගේ විශ්‍රාම යෑම සති 6 කින් ඉක්මන් කළ බවයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත භාර දුන්නේ එවන් පසුබිමක් තිබියදීයි.‍

මේ අතර අජිත් නිවාඩ් කබ්රාල් මහතගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා මීට පෙර බැසිල් රාජපක්ෂ මහතාට ඉඩ දීමට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමට තීරණය කර තිබේ.