කෙරවළපිටිය යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට විකිණීමට එරෙහිව වරාය, තෙල්, විදුලි සේවක සංගම් 3 ඒකාබද්ධ සන්ධානය ලබන සතියේ දැඩි වෘත්තීය සමිති ක්‍රියාවලියකට අවතීර්ණ වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පැවසීය.

ආණ්ඩුව මේ මොහොතේ වෘත්තීය සමිති විරෝධය නොතකා කෙරවළපිටිය යුගදනවි බලාගාරය වෙනුවෙන් අත්තනෝමතික තීරණයක් ගන්නේ නම් බලශක්තිය සම්බන්ධ ප්‍රධාන ආයතන දෙකත්, වරායත් වැඩ වර්ජනයකට යන බව ද ඒ මහතා කීය.

දැනටමත් එම ඒකාබද්ධ සන්ධානය විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලෙස කෙරවළපිටිය ඇතුළු ජාතික සම්පත් ටික රැකගැනීම වෙනුවෙන් දැඩි අධිෂ්ඨානයක සිටින බව ද ලාල්කාන්ත මහතා අවධාරණය කළේය.

විශේෂයෙන් කෙරවළපිටිය යුගදනවි බලාගාරය වෙනුවෙන් මෙම ඒකාබද්ධ සන්ධානයේ අරගලයට මේ මොහොතේ එකතු විය හැකි සියලුදෙනාට ආරාධනා කරන බවත් විදුලිබල මණ්ඩලයේ විදුලි ඉන්ජිනේරු සංගමය, ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටින මැති ඇමතිවරුන් කිහිප දෙනෙක්, විවිධ බලවේග, සිවිල් හා බහුජන සංවිධාන ඊට සිය විරෝධය පළ කර ඇතැයි ද ඔහු පැවසීය.

  • උපුටා ගැනීම මව්බිම පුවත්පත